Thursday, April 25, 2024

General line - 0115112241

මුම්බායි ගුවන් තොටුපළේ බෝම්බ බියක් - සැකකටයුතු කිසිවක් හමු නොවූ බව ආරක්ෂක අංශ කියයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු සඳහා අද (02) බාධා එල්ල වුණා. ඉන්දීය මාධ්‍ය පැවසුවේ මේ හේතුවෙන් ගුවන් තොටුපළේ එක් ගුවන් පර්යන්තයක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා මගීන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත් බවයි. 

අද උදැසන 11ට පමණ ගුවන් තොටුපළ බලධාරීන් වෙත ලද නිර්ණාමික දුරකතන ඇමතුමක් ලැබී තිබුණා. ඉන් පවසා ඇත්තේ ඉදිරි පැය 12ක කාලය තුළදී මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවයි. එසැනින් ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කල බලධාරීන් පුළුල් සෝදිසි මෙහෙයුමක් ද කි‍්‍රයාත්මක කළා. එහෙත් සැකකටයුතු කිිසිවක් හමුනොවූ බවයි බලධාරීන් පැවසුවේ.

ඉකුත් පෙබරවාරි 07වනදා සිට මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත ද්විත්වයේම අලූත්වැඩියා කටයුත්තක් සිදුකෙරෙන අතර මේවනතුරුත් එය කි‍්‍රයාත්මකයි. මාර්තු 30වනදා දක්වා එම අලූත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිත අතර එතෙක් සෑම අගහරුවාදා, බ‍්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවලදී පැය 06ක කාලයක් ගුවන් තොටුපළ වසා තැබෙනවා.

මේ අතර පකිස්තාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් යළි භාර දුන් පසු පකිස්තානය ඊයේ රාති‍්‍රයේ සිට ඉන්දියාවට යළිත් ප‍්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. 

ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ පූන් දිස්ති‍්‍රක්කයට පකිස්තානය එල්ල කළ ශෙල් ප‍්‍රහාරයකින් කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි මවක් සහ ඇගේ වයස අවුරුදු නවයක පුත‍්‍රයා සහ මාස 09ක් වයසැති දියණියයි. පකිස්තානයෙන් දිගින් දිගටම එල්ල වෙමින් ඇති ශෙල් හා මෝටාර් බෝම්බ ප‍්‍රහාර හමුවේ පූන් සහ රජූරි යන දිස්ති‍්‍රක්කවල දේශසීමාවට ආසන්න කිලෝමීටර් 05ක ප‍්‍රදේශයේ පිහිටි පාසල් තාවකාලිකව වසා දැමීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එම සීමාවේ වෙසෙන වැසියන්හටද නිවෙස් තුළට වී සිටින ලෙසයි ඉන්දීය ආරක්ෂක අංශ දැනුම් දී ඇත්තේ.