Tuesday, April 23, 2024

General line - 0115112241

ඉන්දු-පකිස්තාන යුධ උණුසුම මහ සයුරටත් : අනවසරයෙන් ඇතුල්වෙන්න ආ ඉන්දියානු සබ්මැරීනයක් හරවා යැවු බව පකිස්තානය කියයි (VIDEO / PHOTOS)

දිනුක් හේවාවිතාරණ




සිය මුහුදු සීමාවට ඇතුල්වීමට උත්සහ කළ ඉන්දීය නාවික හමුදාවේ සබ්මැරීනයක් නවතාලීමට ඉකුත් සඳුදා රාත්‍රියේදී සිය නාවික හමුදාව පියවර ගත් බව පකිස්තාන නාවික හමුදාව ප්‍රකාශ කරනවා. ඉන්දු-පකිස්තාන අර්බුධයේ නවතම සිද්ධිය වූ මෙය වාර්තා වන්නේ දෙරටේ ගුවන් හමුදාව අතර ඇතිවූ කාශ්මීර දේශ සීමාව ආසන්නයේ ඇතිවූ ගුවන් සටනින් දින කිහිපයකට පසුවීම ද විශේෂත්වයක්.

" ඔවුන් අපගේ මුහුදු සීමාවට ඇතුල්වීමට පැමිණියේ කුමන අදහසින්ද යන්න ගැන හරිහැටි කිව නොහැකියි. නමුත් එය රටවල් දෙක අතර පවතින උණුසුම් තත්ත්වය යටතේ සිතා බැලිය යුතු කරුණක් වනවා. ඇතිවූ සිදුවීමත් සමග සිය මුහුදු කළාපයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති බවට" නිවේදනයක් නිකුත් කරමින් පකිස්තාන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටිනවා.

මිට පෙර 2016 වසරේදී පකිස්තානය විසින් ඉන්දීය සබ්මැරීනයක් සිය මුහුදු සීමාවට ආසන්නයේදී හරවා යැවීමට පියවර ගැනීමෙන් අනතුරුව දෙරටේ නාවික හමුදාවන් අතර සිදුවීමක් වාර්තාවූ පළමු අවස්ථාව මෙය වනවා. 

එල්ල කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාව අද (05) ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කිසිදු අවස්ථාවක තම නාවික හමුදාවේ සබ්මැරීනයක් පකිස්තාන මුහුදු සීමාවට අතුල්නොවූ බවයි.

මේ අතර ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් සුනිල් ලන්බා ප්‍රකාශ කර සිටියේ මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රහාර එල්ල කිරීම සඳහා ත්‍රස්තවාදීන් පුහුණු කර ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවයි. ඉන්දු-පැසිෆික් ගෝලීය විශේෂඥ සමුළුවට සහභාගී වෙමින් ඉන්දීය නාවික හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

" මෙම ප්‍රහාර මුහුදේ මැදදී විය හැකියි. නමුත් ත්‍රස්තවාදීන් සිය ප්‍රහාර දියත් කිරීම සඳහා මනා පුහුණුවක් ලබමින් සිටින බවට වන බුද්ධි තොරතුරු ලැබී ඇති බව කිව හැකියි" නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

2009 වසරේ නොවැම්බර් මස 26 වෙනිදා මුම්බායි නුවර ඉලක්ක කර ගනිමින් එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙහිදී නාවික හමුදාපතිවරයා මතක් කර දුන් අතර ඔහු කියා සිටියේ ත්‍රස්තවාදීන් ඉන්දියාවට පැමිණීමට යොදා ගත්තේ මුහුදු මාර්ගය බවයි. ඒ හේතුවෙන් සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් මුහුදු කළාපයේ ආරක්ෂාව තරකර ඇති බවයි මෙහිදී ඔහු කියා සිටියේ.

" ත්‍රස්තවාදය තුරන් කිරීමට සමස්ත ලෝක ප්‍රජාවම එකට එක්විය යුතුයි. ඉන්දියාව අස්ථාවර කිරීමට අසල්වැසි රටවල සිටින ත්‍රස්තවාදීන් පියවර ගනිමින් සිටිනවායැයි" මෙහිදී අද්මිරාල් සුනිල් ලන්බා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මුහුදු සීමාවට ඇතුල්වීමට උත්සහ කළ බව කියන ඉන්දිය නාවික හමුදාවේ සබ්මැරීනයේ ජායාරූපය (ජයාරූප : පකිස්තාන නාවික හමුදාව)