Tuesday, April 16, 2024

General line - 0115112241

අන්තර්ජාලය හරහා සිදුවන ගෙවීම්වලට යෙදූ බද්ද ගැන ආර්ථික විශ්ලේෂකයින් කතා කරයි




තවත් පුද්ගලයින් ලක්ෂ 06කට සමෘද්ධි සහනාධාරය ලබාදීම සඳහා මෙවර අයවැයෙන් කෙරුණු යෝජනාව දේශපාලනික අරමුණු වෙනුවෙන් සකස් වූවක්දැයි සැක පළ වනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ පෙන්වා දෙන්නේ මෙම යෝජනාව සඳහා කිසිදු තාර්කික පදනමක් හඳුනාගත නොහැකි බවයි.

ඊයේ (05) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී මෙම අදහස් පළ කෙරුණා. 

සැබෑ ලෙස සිදුවිය යුත්තේ සමෘද්ධි ප‍්‍රතිලාභීන් ගණන වැඩි කිරීම නොව සහනාධාරයේ ඵලදායිතාව වැඩි කිරීම බවයි මෙහිදී වැඩිදුරටත් විස්තර කෙරුණේ. 

මේ අතර අන්තර්ජාලය හරහා ක්‍රෙඩිට් කාඞ් හෝ ඩෙබිට් කාඞ් මගින් සිදු කරන විදේශ ගෙවීම් සඳහා සියයට 3.5ක ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. 

ඇතැම් අය සැක පළ කරන්නේ මෙම නව බද්ද හේතුවෙන් අන්තර්ජාලය හරහා ක්‍රෙඩිට් කාඞ් හෝ ඩෙබිට් කාඞ් මගින් ගෙවීම් සිදු කර විදේශයන්ගෙන් ගෙන්වා ගන්නා භාණ්ඩවල මිල වැඩි විය හැකි බවයි. ඒ අනුව එවැනි අන්තර්ජාල ගනුදෙනු අධෛර්ය විය හැකි බවද ප‍්‍රකාශ වනවා.

එහෙත් ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ කියා සිටියේ මෙම බද්ද රජයට තවත් හොඳ ආදායම් ප‍්‍රභවයක් බවයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.

 


අද රාත්‍රියේ ප‍්‍රචාරය වන නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී ද මෙවර අයවැය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න ඊට සහභාගී වීමට නියමිතයි. නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහන රාත‍්‍රී 07.30 සිට ප‍්‍රචාරය කෙරෙනවා.