Friday, April 19, 2024

General line - 0115112241

කිළිනොච්චියේ ඇළක සඟවා ගිය අවිආයුධ පෙට්ටි ආරක්ෂක අංශ ඇළ හිස්කර ගොඩ ගනී (PHOTOS)  

දිනසේන රතුගමගේ




කිළිනොච්චියේ කන්නගි නගර් ප්‍රදේශයේ ඇළක පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම ඇළේ ජලය හිස් කිරීමෙන් පසුව ඊයේ (05) පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හමු වී තිබෙනවා.

මෙම පුපුරණ ද්‍රව්‍ය අතර එල්.එම්.ජී. වර්ගයේ තුවක්කු සඳහා යොදා ගන්නා උණ්ඩ හා තවත් බර අවි සඳහා භාවිත කරණ පතුරම් හා පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් ඇති බවයි වාර්තා වෙන්නේ.

ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ යුද සමයේදී මෙම පුපුරණ ද්‍රව්‍ය කොටි සාමාජිකයින් විසින් භාවිත කළ පුපුරණ ද්‍රව්‍ය  බවයි.

යුද්ධයේ අවසන් කාල වකවානුවේදී  කොටි සාමාජිකයින් කිළිනොච්චිය පළාත අතහැර මුලතිව් දෙසට පසු බසින විට කිසියම් හේතුවක් නිසා හෝ මේවා එම ඇළට දමා ඔවුන් යන්නට ඇතැයි පොලිසිය පෙන්වා දෙනවා.

කන්නගි නගර් ප්‍රදේශයේ වැසියෙකු කැළයට ගවයන් ගෙන ගිය අවස්ථාවේදී ගවයින් මෙම ඇළෙන් වතුර බොමින් සිටියදී පතුරම් පෙට්ටියක කොටසක් ජලයෙන් උඩට මතු වී තිබෙනු දැක තිබුණා.

ඔහු මේ පිළිබදව අක්කරායන් පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ මෙලෙස ගොඩ ගැනීමට පියවර ගෙන තිබුණා.

බොහෝ කාලයක් මඩ සහිත ජලයෙන් යට වී තිබීම නිසා පතුරම් පෙට්ටි දිරාපත් වී ගොස් ඇති අතර උණ්ඩද  මල බැඳී  ඇති බවයි වාර්තා වෙන්නේ.