Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ ඉලක්ක වෙත පහර දීමට ත්‍රස්තවාදීන් යොදා ගන්නවා - පකිස්තානයේ හිටපු ජනපති කියයි : ඉන්දියාවත් අනතුරු අඟවයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා පකිස්තාන යුධ හමුදා බුද්ධි අංශ විසින් තම රටේ ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධාන උපයෝගී කර ගන්නා බව හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් පවසනවා. පකිස්තාන මාධ්‍යවේදියෙක් සමග දුරකථන සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව හෙළිකර සිටිනවා.

" පකිස්තාන බුද්ධි අංශ විසින් ඉන්දියාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ජයිෂ්-ඊ-මොහොමඩ් සංවිධානය යොදා ගනු ලබනවා. ඇත්ත වශයෙන්ම පැවසුවොත් මේ ත්‍රස්ත සංවිධානයක්. මා ජනාධිපති ලෙස කටයුතු සමයේදී මෙම ත්‍රස්ත සංවිධානය දෙවරක් මා ඝාතනය කිරීමට උත්සහ දැරුවා" හිටපු ජනාධිපති මුෂාරෆ් සිය සම්මුඛ සාකච්ජාවේදී ප්‍රකාශ කර සිටියා.

1999 වසරේ සිට 2008 දක්වා කාල සීමාව දක්වා පකිස්තානයේ ජනාධිපතිධුරය හෙබවූ සමයේදී ජයිෂ්-ඊ-මොහොමඩ් සංවිධානයට එරෙහිව පියවර නොගත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් විමසු විට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඒ වන විට පැවති තත්ත්වය හා වර්ථමානයේ පවතින තත්ත්වය වෙනස් බවයි.

ඉකුත් පෙබරවාරි මාසයේදී ඉන්දීය ආරක්ෂක අංශ සෙබළුන් 40 දෙනෙකුට මරු කැඳවමින් පුල්වාමා හිදී පුපුරා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම භාර ගනු ලැබුවේ ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයයි. මෙම ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දු-පකිස්තාන රටවල් දෙක අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර අවස්ථා රැසකදී ජම්මු හා කාශ්මීර දේශ සිමාවේ ගැටුම් පවා ඇති විය.

මේ අතර ඇෆ්ගනිස්ථාන දේශ සිමාවේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා භට පිරිස් විශාල ප්‍රමාණයක් බර අවි ඇතුළු යුධ උපකරණ සමග මේ වන විට කාශ්මීර දේශසීමාව ආසන්නයේ ස්ථානගත කිරීමට පකිස්තාන හමුදාව කටයුතු කර ඇති බවට ඉන්දීය බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙනවා.

දිගින් දිගටම එල්ල කරනු ලබන බර අවි ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දීය යුධ හමුදාව විසින් පකිස්තාන හමුදාවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදී ඉන්දියාව විසින් පකිස්තානයට දැනුම් දී ඇත්තේ බර අවි ප්‍රහාර වලින් සිවිල් වැසියන්ට හානියක් සිදු වුවහොත් දරුණු ප්‍රතිපල අත්විදීමට සුදානම්ව සිටින ලෙසයි.