Wednesday, April 24, 2024

General line - 0115112241

අඩි 23,000ක උසකින් යුත් හිමාලයේ කන්දක් තරණය කර වාර්තා පොතට ගිය "මීරා" (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




කඳු නගින්නන් කණ්ඩායමක් සමග මිතුරුවූ සුනඛයෙක් ඉතිහාසයේ පළමු වරට නේපාලයේ හිමාල අඩවියේ පිහිටා ඇති අඩි 23,000ක් උසකින් යුත් " Baruntse කන්ද" තරණය කිරීමේ පුවතක් වාර්තා වනවා.

සියැටල් හි ජිවත් වන වෘත්තිමය කඳු නගින්නෙක් වන ඩොන් වර්ගොව්ස්කිගේ මග පෙන්වීමෙන් යුත් කඳු නගින්නන් කණ්ඩායමට මෙම සුනඛයා හමුවී ඇත්තේ කත්මන්ඩු හි පිහිටා තිබෙන කඳු නගින්නන් උදෙසා වෙන් කර තිබෙන කඳවුරකදී.

කඳු නගින්නන් කණ්ඩායම සමග මිත්‍රවූ මෙම සුනඛයා ඩොන් වර්ගොව්ස්කි ඇතුළු කණ්ඩායම සමග පුරා මාසයකට ආසන්න කාලයක් හිමාල අඩවියේ පිහිටි කඳු තරණය කිරීමේ ත්‍රාසජනක ගමනට එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

" පළමුව මෙම සුනඛයා අප පසු පසින් පැමිණෙද්දී ඔහු මද දුරක් ගොස් නවතිනු ඇති බවට සිතුවා. නමුත් ඔහු අපි සිතුවාට වඩා වෙනස් ජාතියේ සතෙක් වුනා. ඇතැම් අවස්ථාවලදී අපි පැය 7ක කාලයක් තරණය කිරීමට අපහසු වූ ගිරි දුර්ගයන් මීරා අපිට පෙර තරණය කරා පමණක් නොවේ අනතුරුදායක ස්ථාන ගැන බුරමින් අනතුරු ඇඟවීම පවා සිදුකළා" යැයි ඩොන් වර්ගොව්ස්කි ප්‍රකාශ කර සිටියා.

කෙසේ වුවත් මාසයකට ආසන්න කාලයක් වර්ගොව්ස්කි ඇතුළු කණ්ඩායම සමග කල් ගත කරන ලද සුනඛයා අවසානයේ Baruntse කන්ද තරණය කර ඇත්තේ සියල්ලට පළමුවෙන්ය.

" මේ සුනඛයා අපි හැමෝටම වාසනාව ගෙනාවා කිව්වොත් නිවැරදි. ඇතැම් අවස්ථාවලදී ඔහු අධික ශීතල සහිත කාලගුණය නිසා තෙහෙට්ටුවට පත්වූ අවස්ථා නොතිබුනා නොවේ. ඒත් ඔහුට විවේක ගැනීමට ඉඩ හැර අපි කන්ද තරණය කිරීමට ගිය සැමවිටම ඔහු අප සිටි ඉසව්ව සොයාගෙන ආවේ හැමෝම පුදුමයට පත් කරමින්. අවසානයේ අපි ඔහුට "මීරා" කියා නම තැබුවා " යැයි වර්ගොව්ස්කි කියා සිටියා.

හිමාලය තරණය කිරීමේ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැස් කරනු ලබන බිලී බියර්ලින් ප්‍රකාශ කර සිටියේ මිට පෙර හිමාල අඩවියේ කඳු තරණය කරනු ලැබූ සුනඛයෙක් පිළිබදව වාර්තාවී නොමැති බවයි. ඒ අනුව උසින් අඩි 23,389ක් වන Baruntse කන්ද තරණය කරනු ලැබූ පළමු සුනඛයා වශයෙන් මීරා වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.

කෙසේ වෙතත් සිය සංචාරය සාර්ථකව අවසන් කොට තම මව් රටට ගිය ඩොන් වර්ගොවෙස්කි ඇතුළු කණ්ඩායමට මීරා නම් සුනඛයා රැගෙන යාමට අවස්ථාව හිමිනොවූ බවයි වාර්තා වන්නේ.

" හිමාලය තරණය කරන කඳු නගින්නන්ට උපකාර කරන ෂර්පා කණ්ඩායමේ නායකයා මෙම සුනඛයා රැකබලා ගැනීමට ඉදිරිපත් වුවා. එය හරිම වේදනාත්මක සමුගැනීමක්" වර්ගොව්ස්කි අවසන් වරට කියා සිටියා.