Thursday, April 25, 2024

General line - 0115112241

වැස්සෙන් පස්සේ ලැබුණු ඉලක්කයටත් ගමන් කරන්න ශ්‍රී ලංකාව අසමත් වෙයි




ශ‍්‍රී ලංකාවට එරෙහි එක්දින ක‍්‍රිකට් තරගාවලිය, තවත් තරග 02ක් ඉතිරිව තිබියදී ජය ගැනීමට දකුණු අප‍්‍රිකාව ඊයේ (10) රාත‍්‍රියේ සමත් වුණා.

ඒ, 03 වන එක්දින තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ දකුණු අප‍්‍රිකාව ලකුණු 71ක ජයක් ලැබීමත් සමගයි. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 05කට ලකුණු 331ක් රැස් කළා. පසුව ශ‍්‍රී ලංකා ඉණිමේ 16 වන පන්දුවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වනවිට ශ‍්‍රී ලංකාව කඩුලූ 02ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 75ක්. වර්ෂාව හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පන්දුවාර 24ක දී ලකුණු 193ක ඉලක්කයක් හිමි වුණා. ඒ අනුව ඉතිරි පන්දු 48 දී ලකුණු 118ක් රැස් කිරීම ශ‍්‍රී ලංකාවේ ඉලක්කය වුවද එය සපුරා ගැනීමට දකුණු අප‍්‍රිකානු දඟ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දුවාර 24 අවසන් වනවිට ශ‍්‍රී ලංකාවට කඩුලූ 05ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

තරග 05 කින් සමන්විත ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා සිව්වන එක්දින ක‍්‍රිකට් තරගය අනිද්දා (13) පැවැත්වෙනවා.