Wednesday, April 24, 2024

General line - 0115112241

පොලිසියට සහය දී ඔළුවටම වෙඩි කෑ තස්ලිම්ට සැත්කමක් (PHOTOS)

සමන් විජය බණ්ඩාර




මාවනැල්ල දනාගම සිය නිවසේ නිදාගෙන සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් හිසට වෙඩි තබා පලා යෑමේ ඉකුත් 09 වැනිදා අලුයම මාවනැල්ල පොලිසියට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

මෙම වෙඩි තැබීම හේතුවෙන් බි.36/2 දනාගම, මාවනැල්ලේ පදිංචි 37 හැවිරිදි එම්.ආර්.එම්. තස්ලිම් යන අයගේ හිසට බරපතල තුවාල සිදු වි ඇති අතර ඔහු මාවනැල්ල මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මේ වන විට ඔහුට සැත්කමක් සිදු කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

තිදෙරු පියෙකු වන වෙඩි වැදී ඇති පුද්ගලයා සත්ත්ව ගොවිපොලක් පවත්වාගෙන යන අතර ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය හා නිතී විරෝධී ක‍්‍රියා සිදු වන අවස්ථාවේ ඔහු විසින් ඒවා මැඩ පැවැත්වීමට පොලිසියට සහ හමුදාවට සහයෝගය ලබා දෙමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට නිරන්තරයෙන් කැප වු අයෙකු බවයි වාර්තා වෙන්නේ. 

වෙඩි වැදීමෙන් පසුව නිදා සිටි ඇදේ හිස පහලට සිටින සේ හා කකුල් ඇඳ මත තිබුණු බවත් වෙඩි වැදුනු විගස වේදනාවෙන් අම්මා අම්මා කියා කෑ ගැසු බව එම නිවසේ පදිංචි ඔහුගේ මව සහ බිරිඳ පවසා තිබෙනවා.

බිරිඳ පැවසුවේ තමන් සිද්ධිය දකින විට කාමරය පුරා ලේ තිබුණු බවයි. පසුව ශබ්ද නගා ප‍්‍රදේශවාසින්ගෙන් උදව් ඉල්ලා සිටි බවත් ඇය සඳහන් කර තිබෙනවා.

යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනා නිවසේ පිටුපස පිහිටා ඇති දොරකින් නිවසට ඇතුලූ වී වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක සිද්ධියට පැමිණි යතුරු පැදියේ සී.සී.ටී.වී දර්ශන ඇති අතර ඒවා මේ වන විට පොලිසියේ පරික්ෂණවලට යොදා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද පොලිසිය පැවසුවා. එහෙත් ලැබී තිබෙන CCTV දර්ශන අපහැදිළි බවයි වාර්තා වෙන්නේ.