Friday, March 29, 2024

General line - 0115112241

කණ්ඩායම එකමුතු කළ හැකි නායකයෙක් සොයයි

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා එක්දින නායකත්වයේ යළි වෙනසක් සිදු වනු ඇතැයි කි‍්‍රකට් ආරංචි පවසනවා.

දකුණු අපි‍්‍රකාව සමග පැවැති එක්දින තරගාවලියේදී ලසිත් මාලිංග, නායකයෙකු ලෙස අසාර්ථක වීම ඊට හේතුවයි. ලසිත් මාලිංග නායකත්වය ගෙන මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග 07ම පරාජය වී තිබෙනවා. එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නව නායකයෙකු පත් කර ගැනීමටයි කි‍්‍රකට් ප‍්‍රධානීන්ගේ අදහස වී ඇත්තේ.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද එක්දින නායකත්වයට යෝජනා වී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝට්ස්මන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු ද කියා සිටියේ නව එක්දින නායකයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි. කණ්ඩායමේ එකමුතුකම ගොඩනැගිය හැකි කී‍්‍රඩකයෙකු එක්දින නායකත්වයට පත් කළ යුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර ශ‍්‍රී ලංකා - දකුණු අපි‍්‍රකා සිව්වන එක්දින කි‍්‍රකට් තරගය පෝට් එලිසබෙත් හිදී හෙට (13) පැවැත්වීමට නියමිතයි.