Saturday, April 20, 2024

General line - 0115112241

මවට අමතකවු දරුවා සොයා ගුවන් යානයක් යළි හදිස්සියේ ගුවන් තොටුපළට ගොඩබායි

දිනුක් හේවාවිතාරණ




ගුවන් යානාවක ගමන් කරමින් සිටි කාන්තාවකට ඇයගේ බිළිදා ගුවන් තොටුපළේ දී අමතකවී දමා යාම හේතුවෙන් එම ගුවන් යානය යළි ගුවන් තොටුපළට ගොඩබෑමේ පුවතක් වාර්තා වනවා.

සෞදි අරාබියේ ජෙඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැලේසියාව බලා ගමන් කරමින් තිබු ගුවන් යානයක් හදිස්සියේ යළි ජෙඩා ගුවන් තොටුපළට ගොඩ බෑමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

මැලේසියාව බලා ගමන් කිරීමට සිටි මෙම කාන්තාව සිය බිළිදා සමග ගුවන් තොටුපළේ රැඳී සිටීමේ පර්යන්තයේ ගත කර ඇති අතර ගුවන් යානයට මගින් ඇතුලත් කර ගැනීමේ නිවේදනය බළධාරීන් නිකුත් කිරීමෙන් අනතුරුව ඇය ගුවන් යානයට ගොඩවී ඇත්තේ සිය බිළිදා අමතක කරමින්ය.

ජෙඩා ගුවන් තොටුපළෙන් ගුවන් යානය පිටත්වී සුළු මොහොතකට පසුව ඇයට තම බිළිදා අමතකව ඇති බව තේරුම් යාමත් සමග යළි ගුවන් තොටුපළට ගුවන් යානය හරවන මෙන් ඇය හඬමින් ආයාචනා කර ඇති අතර ඇතිවූ තත්ත්වය පිළිබඳව ගුවන් යානයේ නියමුවන් ගුවන් ගමන් පාළක මැදිරිය වෙත දැනුම් දීමට පියවර ගන්නා ලදී.

කාර්ය බහුල තත්ත්වයේ පසුවූ ජෙඩා ගුවන් තොටුපළට යළි එම ගුවන් යානය ගොඩ බෑමට ඉඩ ලබා දීම සඳහා ගුවන් ගමන් පාළකවරුන් සාකච්ජා කොට අවසර ලබාදී ඇත්තේ ඉන් අනතුරුවයි.

එම අවස්ථාවේදී ගුවන් නියමුවන් හා ගුවන් ගමන් පාළකවරුන් අතර ඇතිවූ සංවාදය මේ වන ලොව පුරා සිඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතියි.

කෙසේ වුවත් අවසානයේ ගුවන් තොටුපළ නිළධාරීන්ගේ භාරයේ සිටි බිළිදා යළි සිය මවට භාරදීමට හැකිවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා.