Thursday, April 18, 2024

General line - 0115112241

ඉතියෝපියාවේ බිහිසුණු ගුවන් අනතුරේ සැටලයිට් දත්ත නිරීක්ෂණයෙන් පසු ලොවම කැළඹේ

දිනුක් හේවාවිතාරණ




මතභේදයට තුඩුදී තිබෙන බෝයිං 737 වර්ගයේ සියළුම ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම ඊයේ (13) පියවර ගෙන තිබෙනවා. ඒ ඉකුත් ඉරිදා පුද්ගලයින් 157 කට මරු කැඳවමින් සිදුවූ ඉතියෝපියාවේ සිදුවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයේදී හෙළිවූ නව සාක්ෂි හේතුවෙන්.

ඉතියෝපියාවේ සිදුවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරන ෆෙඩරල් ගුවන් සේවා ආයතනය විසින් රැස් කරනු ලැබූ චන්ද්‍රිකා දත්ත වලට අනුව එම ගුවන් යානයේ යම් දෝෂ සහිත තත්ත්වයක් පෙන්නුම් කිරීම මෙම තීරණයට එළඹීමට හේතුවී තිබෙනවා. 

"පසුගිය වසරේ ඉන්දුනීසියාවේදී පුද්ගලයින් 189 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ ගුවන් යානායේ දත්ත වලට සමාන ආකාරයෙන් මෙම ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් යානයද හැසිරී ඇති බව චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණයේදී සොයා ගැනීමට හැකිවූ බවයි" ෆෙඩරල් ගුවන් සේවා ආයතනය නිවේදනය කරන්නේ.

මෙම සාක්ෂි සොයා ගැනීමත් සමග අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාව තුල සියළුම බෝයිං 737 වර්ගයේ ගුවන් යානා අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරනු ලැබුවා. කෙසේ වුවත් මිට පෙර අමෙරිකාව විසින් ප්‍රකාශ කර සිටියේ මතභේදයට තුඩුදී තිබෙන බෝයිං මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට පියවර නොගන්නා බවයි.

මිට පෙර ඉතියෝපියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සිංගප්පුරුව ඇතුළු රටවල් 40 කට අධික සංඛ්‍යාවක් විසින් බෝයිං 737 මැක්ස් 7 සහ 8 වර්ගයේ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට තීරණය කරනු ලැබුවේ පසුගිය සදුදා සිටය. ඊට අමතරව බ්‍රිතාන්‍ය, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සිය ගුවන් කළාපයන් තුලට බෝයිං මැක්ස් වර්ගයේ ගුවන් යානා ඇතුල්වීම පවා තහනම් කරනු ලැබුවේ මගීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රමුඛත්වය ලබා දෙමින්. 

ලොව ප්‍රමුඛතම ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම ඉන්දුනීසියාවේ සහ ඉතියෝපියාවේ සිදුවූ ගුවන් අනතුරු සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා දැඩි දෝෂ දර්ශනයට ලක්වී සිටියි.