Wednesday, April 24, 2024

General line - 0115112241

ඉසුරු උදානගේ වාර්තාවට ගෞරවයක් දෙන්නට කණ්ඩායම අසමත් වෙයි




ඉසුරු උදානගේ වාර්තාගත ඉණිම අපතේ යමින් දකුණු අප‍්‍රිකාවට එරෙහි සිව්වන එක්දින තරගයෙන් ද ශ‍්‍රී ලංකාව ඊයේ (13) පරාජයට පත්වුණා.

ඒ, කඩුලූ 06කින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාවට සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි. ශ‍්‍රී ලංකා පිලේ සියලූ දෙනා පන්දුවාර 39යි පන්දු 2ක දී දැවී ගියා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදී පන්දුවාර 50 සම්පූර්ණ කිරීමට අඛණ්ඩව නොහැකි වූ 07 වන තරගය ලෙසයි මෙය සටහන් වූයේ.

ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ 09 වන පිතිකරු ලෙස පිටියට පිවිසි ඉසුරු උදානයි. ඔහු පන්දු 57කදී වේගවත් ලකුණු 78ක් රැස් කළා. සිය මංගල එක්දින අර්ධ ශතකය වූ ඊට, හයේ පහර 04ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

එක්දින තරගයකදී අංක නවයේ පිතිකරු ලෙස පිටියට පිවිසි කී‍්‍රඩකයෙකු රැස් කළ ලොව සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යවේ වාර්තාව ලෙස එය සටහන් වුණා.

අවසන් කඩුල්ල වෙනුවෙන් ඉසුරු උදාන සහ කසුන් රාජිත ලකුණු 58ක සබඳතාවක් ගොඩ නැගුවා. එය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ එක්දින තරගයක අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුනු ඉහලම ලකුණු සබඳතාවයේ වාර්තාව වීමද විශේෂත්වයක්.     

ලකුණු 190ක ඉලක්කය දකුණු අප‍්‍රිකාව පසුකර ගියේ පන්දුවාර 32යි පන්දු 5ක දී කඩුලූ 04ක් පමණක් බිඳවැටී තිබියදීයි. දෙරට අතර අවසන් එක්දින තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා.