Tuesday, April 23, 2024

General line - 0115112241

නොබෙල් සාම ත්‍යාගයට නම යෝජනාවූ 16 හැවිරිදි පාසල් සිසුවිය

දිනුක් හේවාවිතාරණ




මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා ස්වීඩන් ජාතික පාසල් සිසුවියක් වන ග්‍රේටා ටුන්බර්ග් ගේ නම යෝජනා කිරීමට නොර්වේ රාජ්‍යයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් තිදෙනෙක් ඊයේ (14) තීරණය කර තිබෙනවා. ඒ ඇය විසින් ගෝලීය කාලගුණ විපර්යාසයන් අවම කිරීම උදෙසා සිදුකරමින් සිටින දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන්.

16 හැවිරිදි පාසල් සිසුවියක් වන ග්‍රේටා ටුන්බර්ග් පසුගිය වසරේදී ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී කාළගුණික විපර්යාසයන් අවම කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තනිවම විරෝධතාවයක නිරත විය. ඉන් අනතුරුව සෑම සිකුරාදා දිනකම මෙම සිසුවිය "අනාගතය වෙනුවෙන් සිකුරාදා" ලෙස නම් කරන ලද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරමින් ලොව පුරා කාලගුණ විපර්යාසයන් වෙනුවෙන් හඩක් නැගීමට පියවර ගත්තේ ඒ වෙනුවෙන් අන් පුද්ගලයින්ට ආදර්ශයක් වෙමින්ය.

පෝලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාසයන් පිටු දැකීමේ සමුළුව සහ පසුගිය ජනවාරි මාසයේදී ඩාවොස් හි පැවති ගෝලීය ආර්ථික සංසද සමුළුව අමතමින් මෙම 16 හැවිරිදි සිසුවිය ලෝකයේ අවධානයට පාත්‍ර විය. එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ " ගෝලීය දේශගුණික විපර්යාසයේ සත්‍යතාවය නම් අපි සියළු දෙනා ඉන් අසමත්ව ඇති බවට පිළිගත යුතු බවයි".

මේ වන විට මෙම සිසුවියගේ මුලිකත්වයෙන් ඇරඹි "අනාගතය වෙනුවෙන් සිකුරාදා" විරෝධතා ව්‍යාපාරයට ජර්මනිය, බෙල්ජියම, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ ජපානය එක්වී සිටි. එමෙන්ම ඉදිරියේදී ලොව පුරා රටවල් 100 ක පාසල් සිසු සිසුවියන් ගේ සහභාගිත්වයෙන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට මේ වන විට සියල්ල සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

යම් හෙයකින් මෙම ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරනු ලබන නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රහණය ග්‍රේටා ටුන්බර්ග් හට හිමිවුව හොත් එම ත්‍යාගය දිනා ගනු ලබන ලාබාලම පුද්ගලයා වීමේ වාසනාව ඇයට හිමිවනවා. මිට පෙර පකිස්තානයේ මලාළා යුසුෆ්සායි අවුරුදු 17 දී නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියනු ලැබුවා.