Thursday, March 28, 2024

General line - 0115112241

සාම්ප්‍රදායික උප්පැන්නය වෙනුවට ඉලෙක්ට්‍රොනික උප්පැන්නය හෙට සිට

මහේෂ් චතුරංග/ සජීත් තිලකරත්න




සාම්ප‍්‍රදායික උප්පැන්න සහතිකය වෙනුවට හෙට (16) සිට නව ඉලෙක්ට්‍රොනික උප්පැන්න සහතිකය හදුන්වා දෙන බව ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. අධ්‍යයනවලින් හෙළිව ඇත්තේ ශී‍්‍ර ලංකාවේ දැනට භාවිත උප්පැන්න සහතිකවලින් සියයට 17 ක් ව්‍යාජ ඒවා බවයි. විවාහ සහතිකවලින් සියයට 13 ක් ද මරණ සහතිකවලින් සියයට 11 ක් ද ව්‍යාජ ඒවා බව හෙළිව තිබෙනවා. 

මෙවැනි වංචනික ලේඛණ සැකසීම වළක්වාලීම නව ඉලෙක්ට්‍රොනික උප්පැන්න සහතිකයේ ප‍්‍රමුඛ අපේක්‍ෂාවක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටිනවා. 

 

දැනට භාවිත උප්පැන්න සහතිකය හා සැසදීමේදී නව උප්පැන්න සහතිකයේ සිදු කෙරෙන වෙනස්කම් කිහිපයක්ද මෙහිදී විස්තර කෙරුණා.

 

නව ඉලෙක්ට්‍රොනික උප්පැන්න සහතිකයට ආරක්‍ෂිත ක‍්‍රමෝපායන් රැසක්ද ඇතුළත්ව තිබෙනවා. රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතානගේ පැවසුවේ අදෝරක්ත කිරණ මගින් දර්ශනය කළ හැකි රාජ්‍ය ලාංඡනයක් ඊට ඇතුළත් වන බවයි. ආරක්‍ෂිත ස්ටිකරයක් සහ පරිගණක කේත ක‍්‍රමයක්ද මෙම නව උප්පැන්න සහතිකයට ඇතුළත් වනවා.

ඉලෙක්ට්‍රොනික උප්පැන්න සහතිකය පළමු අදියරේදී නිකුත් කෙරෙන්නේ මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට උපන් අයටයි. පසු අදියරයකදි පැරණි උප්පැන්න වෙනුවට ඉලෙක්ට්‍රොනික උප්පැන්න නිකුත් කරන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. මේ අතර නව උප්පැන්න සහතිකයේ ආකෘතිය ඇතුළත් අතිවිශේෂ ගැසට් පත‍්‍රය ඊයේ රාති‍්‍රයේ නිකුත් කර තිබෙනවා. ඒ, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා විසින්.