Saturday, April 20, 2024

General line - 0115112241

යහපාලනයේ දූෂණ සොයනා ජනපති කොමිෂන් සභාවට ලැබෙනා පැමිණිලි සංඛ්‍යාව ඉහළ යයි

සජිත් තිලකරත්න




2015 ජනවාරී සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ සහ වංචා සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. 

මෙම කොමිෂන් සභාවේ පැමිණිලි ලබාගැනීමේ කාලය අවසන් වීමට තිබුණේ ඉකුත් 7 වනදා පස්වරු 5 ටයි. කෙසේ වෙතත් එය මාර්තු 14 වන දින පස්වරු 5 දක්වා දීර්ඝ කිරීමට මීට පෙර තීරණය කෙරුණු අතර කොමිසම වෙත පැමිණිලි ලබාදීම ඉහළ යාම හේතුවෙන් එම කාලය මාර්තු 19 වනදා පස්වරු 5 දක්වා දීර්ඝ කිරීමට එම කොමිසම තීරණය කළා. 

කොමිසම වෙත මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 847 ක්. ඒ අතරින් ඉකුත් 7 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ පමණක් පැමිණිලි 435 ක් කොමිසම වෙත ලැබී ඇති බව එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියා. 

ඒ අතරින් පැමිණිලි 370 ක් සළකා බැලීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. කොමිෂන් සභාවට අනුයුක්ත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පැමිණිලි සංඛ්‍යාව 18 ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද එම ප‍්‍රකාශකයා පැවසුවා. ඊට අදාළව අමාත්‍යවරුන් ඇතුළු පාර්ශව කිහිපයකින් දැනටමත් ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා. 

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සභාපතීත්වය දරණ මෙම කොමිසමට තවත් සාමාජිකයින් 03 දෙනෙකු ඇතුළත්. ඒ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, හිටපු නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ සහ විශ‍්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර් ද සිල්වා යන අයයි.