Saturday, April 20, 2024

General line - 0115112241

නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් නැහැ : මියගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ දක්වා ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවූ බවට වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් nethnews.lk වෙත කියා සිටියා. 

කෙසේ වෙතත් නවසීලන්තයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ කැනබරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ නවසීලන්තයේ වෙලිංටන් හි පිහිටිකොන්සියුලර් කාර්යාලය විසින් නිරන්තර අවධානය යොමු කර ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 

ක්‍රයිස්ට්චර්ච් නුවර පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකකට අද (15) උදෑසන එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් ඇත. ඊට අමතරව තවත් පුද්ගලයින් 48 දෙනෙක් පමණ බරපතල තුවාල ලබා ඇති අතර ඉන් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ඔස්ට්‍ර්ලියානු ජාතික 28 හැවිරිදි තරුණයෙක් ඇතුළු තවත් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා ගැන තොරතුරු හෙළිදරව් කරමින් කියා ඇත්තේ ඔහු අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයෙක් බවයි. 

නවසීලන්ත ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ මෙම ප්‍රහාරයට සම්බ්න්ධ බවට තොරතුරු තිබෙන ඕස්ට්‍රේලියානු ජාතිකයා හෙට දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවයි. එමෙන්ම අනෙක් සැකකරුවන් සිව්දෙනා ඊට සම්බන්ධ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.