Thursday, April 25, 2024

General line - 0115112241

හෙරොයින් තොගයක් සමග පාතාල සාමාජිකයින් 4ක් වත්තලදී අත්අඩංගුවට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වත්තල හේකිත්ත ප්‍රදේශයේදී නිවසක සිදුකරන වැටලීමකදී හෙරොයින් සමග පාතාල සාමාජිකයින් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 17ක්, කොකේන් කිලෝග්‍රෑම් 1ක් හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් සහ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් මෙම පිරිස සතුව තිබී සොයා ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් දා ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් ෂියාම් හෙවත් ජී-බුම්බාගේ ගෝලයින් සිව්දෙනෙක් බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු පිරිසට කාන්තාවන් දෙදෙනෙක්ද ඇතුලත් වන අතර මිට මාස දෙකකට පමණ ඉහතදී වත්තල ප්‍රදේශයේදී කාර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කර ඇත්තේ මෙම පිරිස බවට හෙළිවී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිළධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම ජම්පටා වීදියේදී මිට මාසයකට පමණ ඉහතදී යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකළ "මලිඳු" නම් තුවක්කුකරුද මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මත්ද්‍රව්‍ය වලට අමතරව මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් සමග රිවොලර් 5ක් සහ ඊට යොදා ගන්නා උණ්ඩද, කාර් රථයක් ව්‍යාජ අංක තහඩු 15ක් සහ මාංචු යුවල 2ක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම මෙහෙයුමේදී සිය භාරයට ගෙන ඇත.