Thursday, April 25, 2024

General line - 0115112241

නවසීලන්ත ප්‍රහාරකයාට අධිකරණයෙන් දුන් නියෝගය : ශෝකය පළකරමින් අයිෆල් කුලුනත් අදුරු වෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / ඉරේෂාන් සිරිවර්ධන




පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැදවමින් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන බ්‍රෙන්ට් ටැරන්ට් අද (16) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල කර තිබු අතර ඉදිරියේදි සවිස්තරාත්මක චෝදනා පත්‍රයක් ගොනු කිරිමට කටයුතු කරන බව නවසීලන්ත පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේ සිදුවිම සම්බන්ධයෙන් වන විමර්ශන තවමත් අවසන් නොවිම නිසායි.

පොලිසිය විසින් වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවේ පසුවන බවත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වි නොමැති බවයි.

පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් බ්‍රෙන්ට් ටැරන්ට් අප්‍රේල් මස 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මෙහිදි විනිසුරුවරයා නියෝග කරනු ලැබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ අතර නවසීලන්ත අගමැතිවරිය මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සතුව ගිනි අවි 05ක් සහ ගිනි අවි බලපත්‍රයක් තිබි සොයා ගෙන ඇති බවයි. 

කෙසේ වුවත් ඉදිරියේදි ගිනි අවි සම්බන්ධයෙන් වන නීති වෙනස් කිරිමට පියවර ගන්නා බවට ඇය එම මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කර සිටියා.

නවසීලන්තයේ සියළුම මුස්ලිම් දේවස්ථාන මේ වන විට වසා දමා ඇති අතර ක්‍රයිස්ට්චර්ච් නුවර ඇතුළු ප්‍රදේශ රැසක ආරක්ෂාව තරකර තිබෙනවා.

ඊයේ ප්‍රහාරයෙන් මියගිය ඇතැම් පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙළිකර ගැනිමට එරට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටින අතර ඉන්දිය කොන්සියුලර් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ප්‍රහාරයෙන් පසු සිය පුරවැසියන් 9 දෙනෙකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පා අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් රැසක මෙන්ම මුස්ලිම් රටවල ඊයේ සහ අද දිනයේ විරෝධතා සංවිධානය කර තිබුනා.

මියගිය හා තුවාල ලැබු පුද්ගලයින්ට ගරු කිරිමක් වශයෙන් ප්‍රංශයේ සුප්‍රකට "අයිෆල් කුලුනේ" විදුලි පහන් ඊයේ නිවා තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.