Wednesday, April 24, 2024

General line - 0115112241

චීනයේ කොල්ලකාරී ණය සැලැස්මට ලංකාවත් අහුවෙලා: අමෙරිකාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා සෙනට් සභාව හමුවේ කියයි

දිනුක් හේවාවිතාරණ




චීනය ක්‍රමක් ක්‍රමයෙන් කොල්ලකාරී ආර්ථික රටාවකට පියනගිමින් සිටින බවට අමෙරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ජෝසප් ඩන්ඩර්ෆ්  ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව කියා සිටියේ අමෙරිකා සෙනට් සභාවේ සන්නද්ධ සේවා කමිටුව හමුවේ කරුණු දක්වමින්.

චීනය විසින් පකිස්තානයට අමෙරිකානු ඩොලර් බිලියන 10ක ණය මුදලක් ප්‍රධානය කර ඇති බවත් ඒ හරහා උපාය මාර්ගික වැදගත්කමකින් යුත් වරායක් වන ග්වාඩාර් වරාය සංවර්ධනය කිරීමට කටයුතු කර ඇත්තේ යටි අරමුණු රාශියක් ඇතිව බවයි ජෙනරල් ඩන්ඩර්ෆ් කියා සිටින්නේ.

" ග්වාර්ඩාර් වරාය සංවර්ධනය කිරීමෙන් චීනය බලාපොරොත්තු වන්නේ ඔවුන් හා පකිස්තානය අතර සෘජු නාවික මාර්ගයක් තනා ගැනීමේ අරමුණ ඇතිවයි. එය ඔවුන්ගේ උපක්‍රමයක්. මේ ආකාරයට ඔවුන් පසුගිය කාලවකවානුවේ සිදුකළ තවත් එක් ක්‍රියාවක් අපි උදාහරණයක් වශයෙන් බලමු. ඒ තමයි ශ්‍රී ලංකාව. චීනය හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඔවුන් විශාල වශයෙන් ණය ලබා දුන්නා. දැන් එම ණයට හිලව් කිරීමක් වශයෙන් 99 අවුරුදු බදු ක්‍රමයක් යටතේ හම්බන්තොට වරාය චීනය තමන් සතු කර ගෙන තිබෙනවා. මෙය චීනයේ කොල්ලකාරී ණය ප්‍රතිපත්තියේ එක් උදාහරණයක් පමණයි" ජෙනරල් ජෝසප් ඩන්ඩර්ෆ් අමෙරිකා සෙනට් සභාවේ සන්නද්ධ සේවා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ වන විට මාලදිවයිනේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 30 ක ප්‍රමාණයක් චීනයට ණය වශයෙන් ගෙවීමට සිදුව තිබෙනවා. ඒ මාලදිවයින සිය සංවර්ධන කටයුතු වෙනුවෙන් චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා ගැනීම හේතුවෙන්. චීනය විසින් සිය අසල්වැසි රටවලට මිතුරුකමේ දෑත් දිගු කිරිමේ මුවාවෙන් සිදු කරන්නේ තම ණය ලබාදීමේ ප්‍රතිපත්තිය හරහා ඔවුන් සිය හමුදාමය වැඩකටයුතු සඳහා යටත් කර ගැනීමේ ක්‍රමවේදයක්. 

මේ ක්‍රමය හරහා ඉන්දු-පැසිෆික් මුහුදු කළාපයේ සිය අණසක පැතිරවීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. ගතවූ වසර 5 ක් වැනි කෙටි කාලයක් තුල චීනය සිය ගුවන් හා නාවුක ශක්තිය 12 ගුණයකින් ප්‍රබල කර තිබෙනවා වගේම හමුදා සේවය සඳහා බඳවා ගැනීම් වැඩි කර තිබෙනවා. මෙය ඉදිරියේදී අමෙරිකාවේ හමුදාවට මෙන්ම කළාපිය ආරක්ෂාවට ප්‍රබල අභියෝගයක් බවයි අමෙරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ජෝසප් ඩන්ඩර්ෆ් විසින් සෙනට් සභාවේ සන්නද්ධ සේවා කමිටුවට අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ.