Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ සුවිශේෂි ක්‍රිකට් ජයග්‍රහණයට අදට වසර 23ක් (PHOTOS)

කසුන් කැළුම්




මෙරට ක්‍රිකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු දිනය 1996 මාර්තු 17 බව ක්‍රීඩාවට ආදරය කරන සෑම දෙනාම දන්නා කරුණක්. 

ශ්‍රී  ලංකාව ලබාගත් එම ඉහළම ජයග්‍රහණය වන 1996 ලෝක කුසලානය දිනා ගත් එම ජයග්‍රහණයට අදට වසර 23ක්.   

අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම එම සුවිශේෂී ඉතිහාසගත ජයග්‍රහණයේ උරුමක්කාරයන්. 

අදට වසර 23ක් ගත වුවත් එහි වටිනාකම අපට තවමත් දැනෙන්නේ එතැනින් පසු මේ දක්වා එක්දින ලෝක කුසලානයක් අපට දිනා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

1996 පෙබරවාරි 14 වැනි දා ආරම්භ කළ 6 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එම වසරේ මාර්තු 17 වැනි දා දක්වා පාකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. 

තරගාවලිය පුරාවටම ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණියේ ඉන්දීය ප්‍රේක්ෂකයින් අන්දමන්ද කරමින්.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා වූයේ මාර්ක් ටේලර්ගේ නායකත්වයෙන් තරග වැදුනු ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.   

1996 මාර්තු 17 වැනි දින පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා නාමයට ලාහෝර් පිටියේ පාකිස්තානු ප්‍රේක්ෂකයින්ගෙන් දැඩි ආශීර්වාදයක් හිමි වුණා.

ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නායක අර්ජුන රණතුංග සමත් වූ අතර ඔහු පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරධනා කළා. 

තරගයේ විනිසුරුවන් ලෙස බටහිර ඉන්දීය කොදෙව්හී ස්ටීව් බක්නර් සහ එංගලන්තයේ ඬේවිව් ශෙපර්ට් කටයුතු කළා. අවසන් තරගයේ තීරකයා වූයේ බටහිර ඉන්දීය කොදෙව්හී ක්ල්යිඩ් ලොයිඩ්. 

මාර්ක් වෝ සහ මාර්ක් ටේලර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 36කට සීමා කරමින් මාක් වෝ ලකුණු 12කට දවා ගැනීමට චමින්ද වාස් සමත් වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පීඩනයක් ගෙන දෙමින්.

අනතුරුව මාර්ක් ටේලර් සමග එක් වූ රිකී පොන්ටිං දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක අගනා වටිනා සබඳතාවයක් ගොඩනැගීමට සමත්වනවා.

අරවින්ද ද සිල්වාගේ සුපිරි පන්දුයැවීම හමුවේ සහ සනත් ජයසූරියගේ සුපිරි පන්දු රැකීම හමුවේ මාර්ක් ටේලර් ලකුණු 72කට දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි රිකී පොන්ටින් රැස් කර ගත්තේ ලකුණු 45ක් පමණයි. 

රොමේෂ් කළුවිතාරණගේ විශිෂ්ට ස්ටම්ප් කිරීම හමුවේ ශේන් වෝන්ට ලබාගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

ස්ටුවට් ලෝ ලකුණු 22කට සහ ඉයන් හීලි ලකුණු 2කටත් මයිකල් බෙවන් නොදැවී ලකුණු 36ක් ලබා ගැනීමට සමත්වනවා. 

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් වනවා. 
දක්ෂ පන්දු යැවීමක නිරත වූ උප නායක අරවින්ද ද සිල්වා පන්දුවාර 9කදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත් අතර චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර ධර්මසේන සහ සනත් ජයසූරිය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා එවකට ප්‍රබල ආරම්භක පිතිකරුවන් යුගලය වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ පිටියට පිවිසි අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 12කට සීමා වනවා. 

ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ලකුණු 9කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යන අතර කළුවිතාරණට එදින ලබාගත හැකි වූයේ ලකුණු 6ක් පමණයි. පළමු කඩුල්ල ලෙස රොමේෂ් කලුවිතාරන දැවී යන්නේ ලකුණු 6ක් ලබා සිටියදීයි. අනතුරුව අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා එක්ව ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තුව ඉහළ නංවමින් 3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වනවා. 

අසංක ගුරුසිංහ පන්දු 99කදී ලකුණු 65ක් ලබා ගත් අතර ඊට හතර පහර 6ක් සහ හයේ පහරක් ඇතුළත් වුණා.
 
පසුව උප නායක අරවින්ද සමග එක්වූ නායක අර්ජුන රණතුංග ශ්‍රී  ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යන්නේ ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කර දෙමින්. ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනංවමින් 1996 ලෝක කුසලානයේ පහස විද ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා කර දෙන්නේ ගඩාෆි ක්‍රීඩාපිටියට එක් වූ පාකිස්තානු ක්‍රිඩාලෝලීන්ගේද ප්‍රීති ඝෝෂා මැදින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද පන්දු 124කදී නොදැවී ලකුණු 107ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 13ක් ඇතුළත්. අර්ජුන පන්දු 37කදී නොදැවී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත්. 

පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී අවසන් මහා තරගය ජයගත් අර්ජුන ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 96 ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වනවා.

අවසන් තරගයේ වීරයා සම්මානය අරවින්ද ද සිල්වාට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය සනත් ජයසූරිය විසින් දිනාගත්තා.

96 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව සැම දෙනාගේම අවධානය ශ්‍රී ලංකාවට යොමු වීම විශේෂත්වයක්.

2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලියන්හිදී ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවත් ඉන් ජය ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ.   
 
(1996 ලෝක කුසලානයට සහභාගි වූ 14 දෙනෙකුගෙන් යත් ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වෙයි.)

අර්ජුන රණතුංග (නායක)
අරවින්ද ද සිල්වා (උපනායක)
මාවන් අතපත්තු
උපුල් චන්දන
කුමාර ධර්මසේන
අසංක ගුරුසිංහ
සනත් ජයසූරිය
රොමේෂ් කළුවිතාරණ
රොෂාන් මහානාම
මුත්තයියා මුරලිදරන්
රවීන්ද්‍ර පුෂ්පකුමාර
හෂාන් තිලකරත්න
චමින්ද වාස්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ