Thursday, March 28, 2024

General line - 0115112241

මසක් තිස්සේ දුක්විඳිමින් පුහුණු වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නෙත් අනාවරණයෙන් පහසුකම් ලැබේ

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




අනුරාධපුර උතුරුමැද පළාත් ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පුහුණුවීම්වල යෙදී සිටින ජාතික මල්ලවපොර සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණපා ඇති දුෂ්කරතා පිළිබඳ නෙත් ස්පෝට්ස්මන් කළ අනාවරණයට ක්‍රීඩා බලධාරීන් ක්‍ෂණික ප්‍රතිචාර දක්වා තිබෙනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් ඉකුත් සෙනසුරාදා අනාවරණ කළේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති බවයි. නේවාසිකව සිටින ක්‍රීඩකයින් 24දෙනා වෙනුවෙන්ම වෙන් කර ඇත්තේ වැසිකිලි 02ක් පමණක් බවයි එහිදී හෙළි වුණේ.

එමෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන ආහාර පිළිබඳව ද මතුවී තිබුණේ ගැටළුකාරී තත්ත්වයක්. 

නෙත් නිවුස් කළ මෙම අනාවරණයෙන් පසුව අපහසුතාවන්ට මුහුණදී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල කටයුතු කර තිබෙනවා.

ප්‍රමාණවත් සනීපාරක්‍ෂක පහසුකම් ලබාදීමටත් පෝෂ්‍යදායී ආහාර ලබාදීමටත් කටයුතු කර ඇති බවයි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල පැවසුවේ. තවත් වැසිකිළි පද්ධතියක් ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ස්ථාපිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. නේවාසිකව පුහුණුවීම් කරන ක්‍රීඩකයින් සඳහා අවශ්‍ය විදුලි පංකා, ඇදුම් තබා ගැනීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ආබාධවලදී අයිස් ලබාගැනීමට ශීතකරණයක්ද ලබාදී තිබෙනවා. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය තවත් පහසුකම් පිළිබඳ සොයා බලන බවයි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ. 

ජාතික මල්ලවපොර සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස පුහුණුවීම් සිදුකරන්නේ දකුණු ආසියානු ක්‍රිඩා උළෙල වෙනුවෙන්. මෙම සංචිතයට ක්‍රීඩකයින් 24දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 11දෙනෙකු ඇතුළත්.

ඔවුන් ඉකුත් පෙබරවාරි මාසයේ සිට නේවාසිකව මෙම පුහුණුවීම් සිදු කෙරෙනවා. ඔවුන් මුහුණපෑ දුෂ්කරතා පිළිබඳ නෙත් ස්පෝර්ට්ස්මන් කළ අනාවරණයට ක්‍රිඩා බලධාරීන් ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීම, ක්‍රීඩාවෙන් රටට අභිමානයක් ගෙනඒමට පුහුණුවීම් කරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පදක්කම් සිහිනය ඉටුකර ගැනීමට ශක්තියක් වනු ඇති.