Friday, March 29, 2024

General line - 0115112241

නවසීලන්ත ප්‍රහාරයෙන් බිරිඳ අහිමිවු ස්වාමියා තුවක්කුකරුට "සමාව දෙයි" : නවසීලන්ත අගමැතිවරියත් "හිජාබයකින්" සැරසෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඉකුත්දා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදි සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය බිරිඳ අහිමි වු පුද්ගලයෙක් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලොවපුරා අවධානය යොමුවි තිබෙනවා.

ෆරීඩ් අහමඩ් නම් වු මෙම පුද්ගලයා ප්‍රකාශ කර සිටියේ සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයාට තමන් සමාව දීමට සුදානම් බවයි.

"ඔහු සිදුකලේ වැරදි ක්‍රියාවක්, එය අනුමත කරන්න බැහැ. මනුෂයෙක් වශයෙන් මම ඔහුට ආදරෙයි වගේම ඔහු සිදුකළ ක්‍රියාවට මම සමාව දීමට සුදානම්. සමාව දීම තමයි හොදම ක්‍රමය" ෆරීඩ් අහමඩ් කියා සිටිනවා.

ඉකුත් සිකුරාදා මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදි ෆරීඩ් අහමඩ් මුස්ලිම් දේවස්ථානය තුල සිට ඇති අතර ඔහුගේ බිරිඳ වන 44 හැවිරිදි හුස්නා අහමඩ් සිට ඇත්තේ ඒ ආසන්න පිහිටි ස්ථානයකයි.

ප්‍රහාරය එල්ල වනවාත් සමග සිය ස්වාමිපුරුෂයා බේරා ගැනිම සදහා දිව ආ ඇයට වෙඩික්කරු විසින් ඇයට වෙඩි තබා තිබෙනවා. එම ප්‍රහාරයෙන් ඇය මියගිය අතර ඊට පෙර ඇය විසින් තවත් කාන්තාවන් හා කුඩා දරුවන් පිරිසකගේ දිවි බේරා ගැනිමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ අතර නවසීලන්ත අගමැතිවරිය ඊයේ (17) එරට මුස්ලිම් වැසියන් මුණ ගැසුනා. එහිදි ඇය මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින් වෙත සිය ශෝකය පළකරනු ලැබුවා.

මෙම අවස්ථාව සදහා නවසීලන්ත අගමැතිවරිය "හිජාබයකින්" සැරසි පැමිණ සිටිමද විශේෂත්වයක්. 

ඇය හිජාබයකින් සැරසි සිටිම තුලින් සමස්ත ලෝක ප්‍රජාවටම ප්‍රබල පණිවිඩයක් ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ.

ඉකුත්දා සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු ලබන බදාදා දිනට පෙර සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි අගමැතිවරිය ප්‍රකාශ කර සිටියේ.