Friday, April 19, 2024

General line - 0115112241

ලංකාවේ තෙල් ව්‍යාපෘතිය ගැන පුවත අසා ඕමානය පුදුමයට පත්වෙයි : වහා නිවේදනයක් නිකුත් කරයි

දිනුක් හේවාවිතාරණ




බොර තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට යන බවට කියන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු දැනුවත් වීමක් නොමැති බව ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය ඊයේ (20) ප්‍රකාශ කර සිටියා. ඒ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ඉකුත්දා සිදුකරන ලද ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත මෙම ඉන්ධන පිරිපහදුව සඳහා වන ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3.85ක් බවත් එය සිංගප්පුරුවේ ආයෝජන මත ඉන්දියාවේ වාහන නිෂ්පාදන සමාගමක් සහ ඕමාන රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් බවයි ශ්‍රී ලංකා රජය  නිවේදනය කර සිටියේ. මෙමගින් දෛනිකව බොර තෙල් බැරල් 200,000ක් පිරිපහදු කිරීමට හැකිවන බවටද ප්‍රකාශ කෙරුණා.

මෙම ව්‍යාපෘතියෙන් සියයට 30ක කොටසක් ශ්‍රී ලංකා රජයට හිමිවන බවත් ඉතිහාසයේ මේ දක්වා සිදුකරන ලද විදෙස් සෘජු ආයෝජනයකදී ලංකා රජයට හිමිවන ඉහළම ප්‍රතිශතය මෙය බවයි ප්‍රකාශ කෙරුනේ.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ ඕමානයේ ඉන්ධන සහ ගෑස් පිලිබඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක  සලිම් අල්-ඕෆී ප්‍රකාශ කර සිටියේ සිය පාර්ශවයෙන් මෙම ආයෝජනය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් සිදුකරන ලබන ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිනිය වන චම්පිකා මලල්ගොඩ ප්‍රකාශ කර සිටියා. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ජා තවමත් පැවැත්වෙමින් තිබෙන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සම්බන්ධව පාර්ශව සමග සිදුකරන ලද සාකච්ජා වලට අනුව මෙම ව්‍යාපෘතිය මේ දක්වා සාකච්ජා මටටමින් පවතින එකක් බවට වන කරුණු තහවුරු වූ බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටින්නේ.

(මුලාශ්‍ර : රොයිටර් පුවත් සේවය)