Wednesday, April 24, 2024

General line - 0115112241

2018 වසරේ හෙරොයින් වාර්තාව මේ වසරේ පළමු මාස තුනෙන් අභිබවා යයි (PHOTOS / VIDEO)

දිනුක් හේවාවිතාරණ




ඉරානයේ කොනාක් වරායේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් රැගෙන පැමිණි යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 107 ග්‍රෑම් 22ක් තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටිනවා. එම හෙරොයින් තොගය පාර්සල් 99ක ඇසුරුම් කොට පොහොර උර 4ක බහා තිබු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව ඊයේ (23) රාත්‍රියේදී ගාල්ල වරායෙන් මෙම මෙහෙයුම සඳහා පිටව ගිය බවත් සැකකටයුතු යාත්‍රාව අද (24) උදෑසන ගාල්ල අකුරල සිට නාවික සැතපුම් 10.5ක් දියඹ දෙසින් පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

එම යාත්‍රාවේ සිටි ඉරාන ජාතිකයින් 09 දෙනා ධිවරයින් ලෙස කටයුතු කරන බවට පැවසුවත් ඔවුන් එම වෘත්තියේ යෙදුනු බවට කිසිදු සාක්ෂියක් හෙළිවී නැති බවත් මිට දින 14කට ඉහතදී ඉරානයෙන් පිටත්ව ඇති බවට කරුණු හෙළිකර ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී යාත්‍රාවේ තිබී දින 15කට සරිලන වියළි ආහාර සහ ජලය තිබී සොයා ගෙන ඇත.

ඊට අමතරව සැටලයිට් දුරකථනයක් සහ ජංගම දුරකථන 09ක් ද මෙහෙයුමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් විසින් මෙම මෙහෙයුමේදී සොයා ගන්නා ලදියි.

කොළඹ වරායට රැගෙන ආ යාත්‍රාව පොලිස් ඇඟිලි සළකුණු අංශයේ නිලධාරීන් සහ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් විශේෂ පරික්ෂාවක් සිදු කිරීමට නියමිත අතර හෙට (25) දිනයේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින්ද එම යාත්‍රාව පරික්ෂා කරන බවයි මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මේ වන විට 2019 වසර තුලදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විදේශිකයින් 31 ක් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අද අත්අඩංගුවට ගනු ලද ඉරාන ජාතිකයින් 09 දෙනා සමග ඉරාන ජාතිකයින් 10 දෙනෙක් ඊට අයත්. 

ඉතිහාසයේ වැඩිම හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගනු ලැබූවේ ඉකුත් වසරේදී බවත් එය කිලෝග්‍රෑම් 732කට අධික ප්‍රමාණයක් වුවත් මේ වන විට 2019 වසරේ පළමු මාස තුන අවසන් වීමට පෙර හෙරොයින් කිලෝග්‍රෑම් 840.55ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියා.

අද දින මෙහෙයුමට සම්බන්ධ සියළුම නිලධාරීන්ට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග මුදල් ලබාදීමට පොලිස්පති පුජිත ජයසුන්දර ගේ අවධානය යොමුවී ඇති බවයි පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

අත්අඩංගුවට ගනු ලැබූ ඉරාන ජාතිකයින් 09 දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක කාලයක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවත් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ට ලබාදීමට රැගෙන එන්නට ඇති බවට විශ්වාස කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.