Thursday, April 25, 2024

General line - 0115112241

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ඇතුළු 5 දෙනා රිමාන්ඩ්

අධිකරණ වාර්තාකරු




මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්,  මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි ඇතුළු පස්දෙනෙකු අප්‍රේල් මස 5දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.

ඒ අනුව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන අය අප්‍රේල් මස 5 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කරනු ලැබුවේ.
 
සැකකරුවන්ට එරෙහි චෝදනා අටක් පොදු දේපල පනත සහ  ලියාපදිංචි සුරැකුම් සහ ස්කන්ධ ආඥා පනත යටතේ ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ලේ සදහන් ආකාරයට විශාල මුදලක් රජයට පාඩු වී ඇති කාරණය සහ වරදේ බරපතළකම සලකා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි බැදුම්කර වංචාව සිදු වන අවස්ථාවේ බැදුම්කර සම්බන්ධයෙන් වූ ටෙන්ඩර් කමිටුවේ සභාපති ලෙසට කටයුතු කර ඇති බවත් එහිදී ඔහු මහ බැංකු හිටපු අධිපති අර්ජුන ඇලෝසියස් ගේ උපදෙස් පිළිපදිමින් වංචාවට අධාර අනුබල දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණයට දැනුම් දෙන ලදී. තවද අනිකුත් සැකකරුවන් මෙම වරද සදහා ආධාර අනුබල දී ඇති බව ඇය වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු සැකකරුවන් මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බව විත්ති පාර්ශවය අධිකරනයට දැනුම්දුන් අතර ඔවුන් ඇප මත මුදාහරින ලෙසට විත්ති පාර්ශවයේ නීතිඥවරු ඉල්ලා සිටියා.