Friday, April 26, 2024

General line - 0115112241

මාලිංග IPL යයි - ශ්‍රී ලංකා කණ්ඩායමේ මාලිංගගේ ස්ථානය ගැනත් පැහැදිළි කිරීමක්

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම සහභාගී වන දෙවන හා තෙවන තරග සඳහා ක‍්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

දකුණු අප‍්‍රිකාවේ සිට මාලිංග සෘජුව ඉන්දියාව වෙත පැමිණෙනු ඇති බවට මීට පෙර වාර්තා වුණා. කෙසේ වෙතත් ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණ යළි ඉන්දියාව බලා පිටත්ව යනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ලබන මාර්තු 28 වැනිදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග සහ මාර්තු 30 වැනිදා කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙක සඳහා ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් ක‍්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති සුපිරි පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා ඔහු යළි දිවයිනට පැමිණෙනු ඇති. අපේ‍්‍රල් 4 වැනදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලිය නිම වීමෙන් පසු මාලිංග යළි ඉන්දියාව බලා පිටත්ව යනු ඇති. මීට පෙර වාර්තා වූයේ මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේ ක‍්‍රීඩා කරන පළමු තරග 6 සඳහා ලසිත් මාලිංග ක‍්‍රීඩා නොකරන බවයි. මාලිංග සම්බන්ධයෙන් පැවති ගැටලූව පිළිබඳව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉකුත් දින කිහිපයේ සාකච්ඡා කර තිබෙනවා. අනතුරුවයි ඔහු මුම්බායි කණ්ඩායම සහභාගී වන ඉදිරි තරග දෙක සඳහා ද ක‍්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දී ඇත්තේ.  

මේ අතර, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සඳහන් කළේ ලසිත් මාලිංග මේ වන විට ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සිටින ප‍්‍රධානතම වේග පන්දු යවන්නෙකු බවයි. ඔහුගේ ස්ථානය සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා. ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා ක‍්‍රීඩකයින් තේරීමේ දී සුපිරි පළාත් එක්දින තරගාවලියේදී කී‍්‍රඩකයින් දක්වන දක්ෂතාද සලකා බලන බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ.