Thursday, April 25, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපළේදී මළසිරුරු නිදහස් කර ගැනීමේදී ගැටලුවක් 

ටී.කේ.ජී කපිල - කටුනායක




විදේශයන් හීදී මිය ගොස් ශ්‍රී ලංකාවට රැගෙන එන මළ සිරුරු කටුනායක ගුවන් තොටුපළේ දී දවසේ පැය 24 පුරා,  භාර ගැනීමට පැමිණෙන ඥාතීන්ට භාර දීමට පියවර ගත්තද, මීට මසක පමණ කාලයක සිට එම කටයුතු දවසේ දහවල් කාලයට පමණක් සීමා වී ඇති බව ගුවන් තොටුපළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.

කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ ආරම්භයේ සිටම මෙසේ ශ්‍රී ලංකාවට එවන මළ සිරුරු දවසේ පැය 24 පුරා ඒවා රැගෙන යෑමට පැමිණෙන ඥාතීන් වෙත නිදහස් කළ බවත්, එම රාජකාරී කටයුතු ගුවන් තොටුපළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉටු කර තිබෙන බවත් පෙන්වා දෙනවා.

එහෙත් මීට මාසයකට පමණ පෙර  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ චක්‍ර ලේඛනයක් අනුව එම රාජකාරී කටයුතු ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරුන් වෙත පවරා, එම කටයුතු දවසේ පැය 12 කට සීමා කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම වෛද්‍යවරු ද පවසනවා.

කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයෙකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙම මළ සිරුරු නිදහස් කිරීම දවසේ උදෑසන 8.00 සිට රාත්‍රී  8.00 දක්වා කාළය තුළ පමණක් සිදු කරන බවත් රාත්‍රී 8.00 ට මළ සිරුරක් නිදහස් කළද ,එම ඥාතීන් ගුවන් තොටුපළ පොලීසිය වෙත ගොස් එම නිලධාරීන් ද රැගෙන මීගමුව මහ රෝහල වෙත ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට සිදු වුවහොත් එවිට වේලාව මධ්‍යම රාත්‍රීය ද ඉක්මවා යා හැකි බවයි.

බොහෝ විට අධිකරණ වෛද්‍ය නිලධාරීන් රෝහල් භූමිය තුළ රැදී නොසිටියහොත් එම ඥාතීන්ට පසුදා පහන් වනතුරු රෝහල් භූමියෙහි රැදී සිටීමටත් සිදු වන බවද සඳහන් කළා.

එහෙත් මේ පිළිබඳව අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ ශ්‍රී ලංකාවට මෙසේ රැගෙන එන මළ සිරුරුවලින් 5% ක පමණ ප්‍රමාණයක් පමණක් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු වන බවත් ඉතිරි සියල්ල වැඩිදුර විමසීමකින් තොරව එම ඥාතීන් විසින් ගුවන් තොටුපළෙන් ඔවුන්ගේ නිවෙස් කරා රැගෙන යන බවයි.

එමෙන්ම මෙසේ ශ්‍රී ලංකාවට එවන මළ සිරුරු පිළිබඳව ඒවා යොමු කරන රටෙන් ද බොහෝ විට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා, එම නිර්දේශ ද මෙම මළ සිරුරු සමග අප රටට එවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කරනවා.

එමෙන්ම වත්මන් තීරණය විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන්ට ගැටළු මතු කරවන බවත් සඳහන් කළා. ඔවුන්ගේ මරණවල අවසන් කටයුතු එය සිදු වී පැය 24 ක් ඉක්මවා යන්නට පෙර සිදු කළ යුතු වීම එයට හේතුවයි.

කෙසේ වෙතත් මෙම මළ සිරුරු නිදහස් කිරීම පිළිබඳ වගකීම් පැවරීම පිළිබඳව තමන්ට ගැටළුවක් නොමැති බවත් , මෙම මළ සිරුරු නිදහස් කිරීම පැය 24 සිට පැය 12 දක්වා අඩුවීම ජනතාව පීඩනයට පත් වන කරුණක් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ.