Thursday, April 18, 2024

General line - 0115112241

“යොවුන් පුරය 2019”ඇරඹේ (PHOTOS)




ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි හා පුනරුත්ථාපන, උතුරු සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ලද 10 වැනි “යොවුන් පුරය 2019” වරාය නාවුක කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) හම්බන්තොට, වීරවිල පශු සම්පත් සංවර්ධන ගොවිපල පරිශ්‍රයේදී විවෘත කෙරුණා.

අනාගතයේදී නව තාක්ෂණයට මුහුණදිය හැකි තරුණ තරුණියන් පිරිසක් බිහිකිරීම වත්මන් රජයේ මූලික අපේක්ෂාව බව මේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ක්‍රීඩා තරග,  දුනුවිදීමේ පුහුණු වැඩසටහන්, මිනි මැරතන් තරග, විනෝද ක්‍රීඩා මෙන්ම යොවුන් ගායන ශිල්පී තරග, නිර්මාණාත්මක නර්තන රසවින්දන වැඩසටහන්, ශ්‍රමාදාන හා රුක්රෝපණ, රැකියා වෙළඳ පොළ, අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශන, වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් සහ මාධ්‍ය කලාප හා මාධ්‍ය වැඩමුළු, වීදි නාට්‍ය තරග සහ ගිණිමැල සංදර්ශන යනාදී වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් යෞවන සමාජ සාමාජික සාමාජිකාවන්, විදේශීය තරුණ තරුණියන්, බාලදක්ෂයින්, ශිෂ්‍යභට කණ්ඩායම්, යෞවන තිළිණලාභීන් සහ අපේෂකයින් මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අපේෂකයින්, යොවුන් සේනාංක, ශිෂ්‍ය පාර්ලිමේන්තුව, වෘත්තීය පුහුණුලාභීන් ඇතුළු 8000 කට අධික තරුණ තරුණියන් පිරිසක් අවස්ථාවට සහභාගී වෙනවා.