Saturday, April 20, 2024

General line - 0115112241

දිමුත්ට එරෙහිව විනය පරීක්ෂණයක්

කසුන් කැලුම්




අද (31) අලුයම බොරැල්ල කිංන්සි හොර්ටන් පෙදසේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් ඇප මත මුදා හැර සිටින දිමුත් කරුණාරත්න මේ වන විට නීතිමය ක්‍රියා පටිපාටියකට මුහුණ පා සිටින අතර හෙට (01) දිනයේදී ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වීමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් ගත ක්‍රීඩකයෙක් වන දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකරන බව සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කර සිටියා. කණ්ඩායමේ සිටින ජේෂ්ඨ ක්‍රීඩකයෙක් වන දිමුත් කරුණාරත්න නවක ක්‍රීඩකයින්ට ආදර්ශයක් ගෙන දෙන ආකාරයෙන් සිටිය යුතු බවයි ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ලබන අප්‍රේල් මස 04 වනදා ආරම්භ වීමට නියමිත අන්තර් පළාත් එක්දින තරගාවලියේද දිමුත් කරුණාරත්න කණ්ඩායම් නායකයෙක් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ අතර මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පවා ඔහුගේ නම යෝජනාවී තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිමුත් කරුණාරත්නට එරෙහිව දඩයක් සහ විනය ක්‍රියා මාර්ගයක් පැනවීමට ඉඩකඩ ඇති බවයි නෙත් ස්පොර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ.