Tuesday, April 23, 2024

General line - 0115112241

මෝදිගේ චිත‍්‍රපටය නිසා ඉන්දීය දේශපාලනය උණුසුම් (VIDEO)

පවිත්‍රා මධුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය මහමැතිවරණයට සතියක පමණ කාලයක් ඉතිරිව තිබියදී අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළිත් වරක් දේශපාලන විචාරකයින්ගේ චෝදනාවලට ලක්ව තිබෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මෝදිගේ චරිතාපදානය ඇතුළත්ව නිර්මාණය වී ඇති චිත‍්‍රපටයක් හේතුවෙන්.

අග‍්‍රාමාත්‍යවරයාගේ දේශපාලන ගමන හා උපාය මාර්ගයන් ඔස්සේ රටේ පාලන බලය මෙහෙයවීමට කළ කැපවිම, ඔහු සතු ඉවසීමේ ගුණය මෙන්ම නොසැලෙන නායකත්වය යන ගුණාංග ඉස්මතු වන පරිදි මෙම චිත‍්‍රපටය නිර්මාණය කර ඇති බවයි විචාරකයින් පවසන්නේ. 

‘‘පී එම් නරේන්ද්‍ර මෝදි’’ ලෙස නම් කර ඇති මෙම චිත‍්‍රපටය ලබන 05වනදා තිරගත වීමට නියමිතයි. මහමැතිවරණයක් ආසන්නව තිබියදී අග‍්‍රාමාත්‍යවරයාට පක්ෂ වන මෙවැනි චිත‍්‍රපටයක් කරළියට පැමිණෙන්නේ කෙසේදැයි ප‍්‍රධාන විපක්ෂය වන කොංග‍්‍රස් පක්ෂය ද චෝදනා එල්ල කළා. 

එසේම මෙම චිත‍්‍රපටය එළි දැක්වෙන්නේ, අග‍්‍රාමාත්‍යවරයා අතින් මැතිවරණ නීති පද්ධතිය උල්ලංඝණය වූවාද යන්න සොයා බැලීම සඳහා මේවනවිටත් පරීක්ෂණයක් කි‍්‍රයාත්මක පසුබිමක් තුළයි. මැතිවරණයක් ආසන්නයේ තිිබියදී ජාතිය ඇමතීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මෝදි වෙත ඉකුත් දා චෝදනා එල්ල වුණා. 

කෙසේවෙතත් චිත‍්‍රපටයේ නිෂ්පාදකවරුන් පවසන්නේ මැතිවරණ වෙනුවෙන් ලාභ ප‍්‍රයෝජන මත නොව සිය පෞද්ගලික වියදමෙන් මෙම චිත‍්‍රපටය නිර්මාණය කළ බවයි. එහෙත් චිත‍්‍රපටයේ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ චරිතයට පනපොවන සුපිරි බොලිවුඞ් නළු විවේක් ඔබ්රෝයි, දැඩි මෝදි මතධාරියෙක් වන බැවින් චිත‍්‍රපටය නිසා ඉන්දීය දේශපාලන කරළිය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.