Friday, April 26, 2024

General line - 0115112241

සමලිංගිකයින්ට මරණ දඬුවම ගෙනා බෲනායි රාජ්‍යට එරෙහිව ලොව බලවත්ම සමාගම් සන්නද්ධ වෙයි

දිනුක් හේවාවිතාරණ




බෲනායි රාජ්‍ය විසින් සමලිංගිකයින්ට එරෙහිව මරණ දඬුවම පැනවීම සම්බන්ධයෙන් ගෙන එන ලද නව නීති වලට එරෙහිව ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන රැසක් එම රාජ්‍යට හා එහි පාලකවරයාට හිමි ව්‍යාපාරික ආයතන සමග ගනුදෙනු කිරීම නවතාලීමට තීරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලන්ඩනයේ සුප්‍රසිද්ධ රූපවාහිනී සම්මාන උළෙල සංවිධායකයින් සහ ස්විට්සර්ලන්තයේ සංචාරක ඒජන්සියක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ බෲනායි හි පිහිටි සිය ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

TV Choice මැගසිනය විසින් ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තම ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන රූපවාහිනී සම්මාන උළෙල මින් ඉදිරියට බෲනායි සුල්තන්වරයාට හිමි ලන්ඩනයේ පිහිටි ඩෝර්චෙස්ටර් හෝටලයේදී සිදු නොකිරීමට තීරණය කළ බවයි. මිට අමතරව ලන්ඩනයේ පිහිටි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත් ආයතනයද ඩෝර්චෙස්ටර් හෝටලය කිසිදු වැඩසටහනකට භාවිත නොකිරීමට පියවර ගෙන ඇත.

මිට අමතරව ඩොයිෂ් බැංකුව (Deutsche Bank) සහ ස්විට්සර්ලන්තයේ ප්‍රසිද්ධ සංචාරක සමාගමක් වන STA සමාගමද මේ වන විට බෲනායි රාජයට හිමිකම් කියන කිසිදු හෝටල් සමග ගනුදෙනු කිරීම නවතාලීමට තීරණය කර ඇත.

බෲනායි රාජ්‍ය විසින් පනවන ලද නව සමලිංගික නීති වලට එරෙහිව මේ වන විට ලොව ප්‍රසිද්ධ පුද්ගලයින් මේ වන විට දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර ඇත. ඒ අතරින් අමෙරිකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන එලන් ඩිජේනරස්, බ්‍රිතාන්‍යයේ සර් එල්ටන් ජෝන් ඇතුළු චරිත රැසක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.