Tuesday, April 23, 2024

General line - 0115112241

කෝලිගේ සිහිනය බොඳ කල රසල්ගේ ප්‍රහාරය (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (05) පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නොසිතු පරාජයක් අත්කර දීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුවා.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සිය පන්දුවාර 20 තුලදී කඩුලු 3ක් දැවී ලකුණු 205ක් රැස් කර ගනු ලැබුවා. දිගින් දිගටම IPL තරගාවලියේ දී අසාර්ථකත්වයට පත්ව සිටි නායක විරාත් කෝලි සහ ඒබී ඩිවිලියර්ස් මෙම තරගයේදී සුපුරුදු පරිදි ලකුණු අතරට පැමිණීම බැංගලෝර් පිලට යම් සහනයක් ගෙන දුන්නා.

කෝලි පන්දු 49 කදී ලකුණු 84ක් රැස් කර ගැනීමට මෙහිදී සමත් වූ අතර ඩිවිලියර්ස් පන්දු 32ක් තුලදී ලකුණු 63ක් රැස් කර ගනු ලැබුවා. IPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට අද විරාත් කෝලි සමත්වීම ද විශේෂත්වයක්. ඒ සුරේෂ් රයිනා (5086) ගේ වාර්තාව පසු කර යමින්. මේ වන විට කෝලි IPL තරග 160 කදී ලකුණු 5110 ක් රැස් කිරීමට සමත්ව තිබෙනවා.

ජයග්‍රාහි ලකුණු 206 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි කොල්කටා කණ්ඩායම ලකුණු අතරට පැමිණියත් ඔවුන්ගේ කඩුලු දැවී යාම නිසා අවසන් පන්දු ඕවර  03 තුලදී ජයග්‍රාහණය සඳහා ලකුණු 53ක් අවශ්‍යව තිබුනා.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවු ඇන්ඩ්රේ රසල් පන්දු 13ක් තුලදී හයේ පහරවල් 7ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 48 ක් රැස් කර ගනිමින් නොසිතු ජයග්‍රාහණයක් සඳහා සිය කණ්ඩායම රැගෙන ගියේ විරාත් කෝලි ප්‍රමුඛ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මේ වසරේ IPL තරගාවලියේ පිට පිටම 5 වන පරාජය උරුමකර දෙමින්ය.

කොල්කටා කණ්ඩායම සිය ජයග්‍රාහි ඉලක්කය සම්පුර්ණ කරනු ලැබුවේ තරගයේ තවත් පන්දු 5ක් ඉතිරිව තිබීමද විශේෂත්වයක්.

තරගයෙන් පසු අදහස් දක්වමින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි ප්‍රකාශ කර සිටියේ තම පන්දු යවන්නන් මේ ආකාරයෙන් පන්දු යවනවානම් පරාජය හැර ජයග්‍රහණයක් ලැබීමට නොහැකි බවයි.

තරගයේ විශේෂ අවස්ථා නැරඹීමට පහළ ලින්ක් එක මත ක්ලික් කරන්න.

https://www.iplt20.com/video/163259