Thursday, April 25, 2024

General line - 0115112241

ඓතිහාසික මහනුවර නගරය සංවර්ධනයට රුපියල් මිලියන 11,000 ක්




මෙරට දේශපාලනය වර්තමානයේ ඔට්ටු සූදුවට භාවිත කරන ස්ථානයක් බවට පත්ව ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නවීකරණය කෙරුණු මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා "අද අපි රුපියල් දශලක්ෂ 173ක් වැය කර නිර්මාණය කළ ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ජනතා අයිතියට පත් කළා. අපි අනාගතයේදී මහනුවර ගුඩ්ෂෙඩ් පර්යන්තයේ විශාල මධ්‍යම බස්නැවතුම්පළක්, ඒ වගේම දුම්රිය ස්ථානය ඇතුලූ ඒ සියල්ලම වෙනස් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා අපි දශලක්‍ෂ 182 ක වියදමින් බස්පර්යන්තයක් ඉදිකර අද ජනතා අයිතියට පත් කළා. ඒ වගේම නගර සභාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපකරණ සඳහා අපි තවත් මිලියන දශ ලක්ෂ 156 ක් අද දවසේ ලබාදුන්නා.  ඒ වගේම ගුඞ් ෂෙඞ් එක, දුම්රිය ස්ථානය, රෝහල, මහා බහුමාදිලි මධ්‍යස්ථානය ඇතුලූ ප‍්‍රදේශයන් හි තමන්ගේ ජීවිකා වෘත්තිය ගෙන ගිය 842 දෙනෙක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ අයට වන්දි ගෙවීම දැන් ආරම්භ කර තිබෙනවා.

මේ මහනුවර නගරය උපාය මාර්ගික නගරයක් හැටියට ගොඩනගන්න රජයත්, ලෝක බැංකුවත් රුපියල් මිලියන 11,000 ක් වැය කරගෙන යනවා. විශාල රථවාහන ගාලක් ඉදිකරගෙන යනවා විශාල වියදමක් දරමින්. එයත් ඉතාම නුදුරු කලකින් ජනතා අයිතියට පත් වෙනවා. ඒ වගේම දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ පළවෙනි පියවරත් අද අපි ආරම්භ කළා. දුම්රිය සේවකයින්ට අද නවාතැන් දෙන මහල් 11 කින් යුක්ත ඒ ප‍්‍රධාන මධ්‍යස්ථානය, ඒ වගේම ඒ අයගේ කාර්මික වැඩකටයුතු සඳහා අවශ්‍ය කරන යන්ත‍්‍රාගාරය සහ අනෙකුත් පහසුකම් සඳහා රුපියල් මිලියන 1,500 ක් වෙන්කර ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිදියුණු කිරීම් අද ආරම්භ කළා. මේ සියල්ලම අපි කරන්නේ මහනුවර මාර්ග තදබදය විසඳීම සඳහා. අපේ විශ්වාසය මේ මාර්ග තදබදය විසඳීම සඳහා තිබෙන එකම විසඳුම පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීමයි. අද වසර 40 කට පසුව ඇමරිකාව විසින් ඩොලර් මිලියන 70 ක ප‍්‍රධානයක් ලබාදෙනවා ලංකාවේ බස්රථ සේවය නවීකරණය කරන්න. අද අපේ රටේ බස්රථ නැහැ. තිබෙන්නේ ලොරිවලට සීට් හයිකරපු වාහන වගයක්. ඒ වෙනුවට අපි මගීන්ට යන්න පුලූවන් හොඳ බස් රථ සේවාවක් ලබාදිය යුතුයි. අද ලංගම එම තීරණය ගෙන තිබෙනවා. මේ රජය එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා එක යටතේ සියලූම බස්රථ හිමියන්ට 3% පොලියට රුපියල් කෝටිය දක්වා ණය ලබාදෙනවා මගීන්ට යන්න පුලූවන් නවීකාරක බස්රථයක් දාන්න.

ඒ වගේම සහසර වැඩපිළිවෙල යටතේ අපි මේ මහනුවර බස්රථ 2,500 ක් සඳහා GPS යන්ත‍්‍ර ලබාදෙනවා. ඒ වගේම නවීන ටිකට් යන්ත‍්‍ර. බස් ව්‍යාපාරය කියන්නේ අපේ ව්‍යාපාරිකයෝ සෑහෙන අමාරුවෙන් කරගෙන යන දෙයක්. ඒ වගේම ඒ සේවක මහත්වරුන්ටත් කිසිම අයිතිවාසිකමක් නැහැ, දෛනික සේවකයෝ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා එම සේවක මහත්වරුන්ටත් අර්ථ සාධකය ලැබෙන වැදගත් සේවාවක් බවට පත් කරන්න.

ඒ වගේම විශේෂයෙන්ම මේ නගරය ඉතාම සුන්දර නගරයක්. මේ නගරය තුළ සහසක් තුරු වැඩපිළිවෙල යටතේ පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර දැන් හොඳින් කරගෙන යනවා. ඒ වගේම මේ නගරය ඓතිහාසික නගරයක් වගේම ආදර්ශමත් නගරයක් හැටියට කරගෙන යන්න මේ ව්‍යාපාරික ඇතුලූ සියලූම දෙනාගේ අවසර අවශ්‍යයි. අපෙ රටේ ක‍්‍රමය තමයි කොපමණ හොඳට හදලා දුන්නත්, අතනින් මෙතනින් මඩු ගහගෙන කඩමණ්ඩි බවට නගර පත්කරනවා. එවැනි කඩමණ්ඩිවලට අද තැනක් නැහැ. අද අපට අවශ්‍යයි පිරිසිදු පැහැදිලි නගරයක්. ඒ සඳහා මේ සංවර්ධන සභාව ඉදිරි කාලයේදී කටයුතු කරයි කියා මා සිතනවා." යනුවෙන් සඳහන් කළා.