Thursday, March 28, 2024

General line - 0115112241

හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙක් ඉන්දීය මුහුදේදී අත්අඩංගුවට : සාක්ෂි විනාශ කරන්න යාත්‍රාවට ගිනි තබයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




කිලෝග්‍රෑම් 100කට අධික හෙරොයින් තොගයක් සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙක් ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගැනීමට එරට ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකිවී තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 500ක් ඉක්මවන බව එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉන්දීය ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබු අතර මෙම මෙහෙයුම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය, ඉන්දීය නාවික හමුදාවේ මැරීන් බලඝණය සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව සිටිය බව සඳහන්.

ඒ අනුව සිදුකරන ලද විමර්ශනයකදී පසුගිය මාර්තු මස 26 වෙනිදා මෙම සැකකටයුතු යාත්‍රාව සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර පැය 24ක් ගතවීමට මත්තෙන් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් මගින් මෙම හෙරොයින් තොගය රැගත් යාත්‍රාව ලුහුබැදීම ආරම්භ කර තිබුණා.

ඉන්දීය ආරක්ෂක අංශ තමන් පසුපස එන බව දැනගත් ඉරාන ජාතිකයින් සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් තමන් ගමන් කරමින් තිබු යාත්‍රාවට ගිනි තැබීමට පියවර ගෙන තිබෙනවා. වහා ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා යාත්‍රාව තුල තිබුණු හෙරොයින් කිලෝග්‍රෑම් 100ක ප්‍රමාණයක් හා ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

ගිනි ගැනීම හේතුවෙන් හෙරොයින් තොගය රැගෙන ආ යාත්‍රාව මුහුදුබත්ව තිබෙනවා.

සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ මෙම හෙරොයින් තොගය පකිස්තානයේ ගුවාර්ඩ් වරායෙන් යාත්‍රාවට පටවා ඇති බවත් මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ එරට සිටින ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන හමීඩ් මාලෙක් බවට වන තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.