Saturday, April 20, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගවල දෛනික ආදායම මිලියන 30 ඉක්මවයි

දිල්ශාන් තුෂාර




මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී අධිවේගී මාර්ගවල දෛනික ආදායම මිලියන 30ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්‍ෂ එස් ඕපනායක පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8 ත් 10ත් අතර ප්‍රමාණයක ඉහළයාමක් බවයි ඔහු ප්‍රකාශ කළේ. 

මේ අතර මෙවර අලුත් අවුරුදු සමයේදී අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරුවල  ද යම් ඉහළයාමක් පවතින බව ප්‍රකාශ කෙරුණා. අලුතින් අධිවේගී මාර්ග භාවිත කරන පිරිස් අතින් එම අනතුරු වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බවයි එස් ඕපනායක ප්‍රකාශ කළේ. 

පසුගිය දින දෙක තුල සිදුවූ අනතුරු දිහා බැලුවම අධිවේගී මාර්ගය අලුතින් භාවිත කරන්න ගිය රියදුරන් නිසා එවැනි අනතුරු කිහිපයක් සිදුවී තිබෙනවා. පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් ගමන් කරන වාහනයක් එක් වර තිරිංග තද කිරීම සහ වාහනය අතරමග නතර කිරීමට උත්සහ දැරීම මෙයට හේතුවයි. ඒ නිසා අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී එකම වේගයක වාහනය ධාවනය කිරීමට රියදුරන් වගබලා ගැනීම වැදගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අධිවේගී මාර්ගයේ අනතුරක් සිදුවූ අවස්ථාවක මාර්ගයේ ගමන් ගන්නා සෙසු රියදුරන් රථවාහන නතර කර අනතුර නිරීක්ෂණය නොකළ යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.