Wednesday, April 24, 2024

General line - 0115112241

පැරිස් නුවර සුප‍්‍රකට 'නෝට්රේ ඩේම්' ගිනි ගනී (VIDEO)

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි සුප‍්‍රකට නෝට්රේ ඬේම් කතෝලික දේවස්ථානයේ හදිසි ගින්නක් ඇතිවුණා. මෙම ගින්නෙන් දේවස්ථානයට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. දේවස්ථානයේ වහලය සහ ප‍්‍රධාන කුළුණ සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. දේවස්ථානයේ තිබූ 12වන සියවසට අයත් බවට සැලකෙන ඇතැම් දැවමය නිමැවුම් ද ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශයට පත්වූ බවයි දේවස්ථානයේ පරිපාලකයින් පවසා ඇත්තේ. 

පැරිස් නගරයේ හදවත ලෙස ද නෝට්රේ ඬේම් කතෝලික දේවස්ථානය සැලකෙනවා. එසේම ප‍්‍රංශයේ දීර්ඝ ඉතිහාසය කියා පාන මෑතකාලීන සලකුණක් ලෙසට ද නෝට්රේ ඬේම් කතෝලික දේවස්ථානය ලොව පුරා ප‍්‍රකටයි. 

ගින්න හට ගන්නා අවස්ථාවේදී නෝට්රේ ඬේම් කතෝලික දේවස්ථානය තුළ අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවතුනා. මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරුණු මෙම අලුත්වැඩියා කටයුතු සඳහා වෙන් කර තිබූ මුදල් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6.8 ක් පමණ බව සඳහන්. අලුත්වැඩියා කටයුතු හේතුවෙන් දෙවස්ථානය තුළ තිබූ ඉපැරණි ලෝකඩ ප‍්‍රතිමා කිහිපයක්ම ආරක්ෂිතව ඉවත් කර තිබුණා.

ඇතිවූ ගින්නත් සමග ගොඩනැගිල්ල කඩා වැටෙනු ඇතැයි ද සැකපළ විම හේතුවෙන් ඒ අවට වෙසෙන පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටද පියවර ගෙන තිබුණා. එහෙත්, පැරිස් වැසියන් මෙන්ම විදේශික කතෝලිතයින් බොහෝ පිරිසක් ද දේවස්ථානය ගින්නෙන් දැවී යන අයුරු නැරඹීමට ඒ ආසනන්යට එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. කෙසේවෙතත් දැඩි පරිශ‍්‍රමයක් දරා දේවස්ථාන ගොඩනැගිල්ලේ ශෛලමය ආකෘතිය ආරක්ෂා කර ගැනීමට ගිනිනිවන භටයින් සමත් වී තිබෙනවා.

දේවස්ථාන ගොඩනැගිල්ලේ ඇතුළත කොටස් තුළ ඇති පෞරාණික සිතුවම් ආරක්ෂා කර ගැනීමට ප‍්‍රංශ බලධාරීන්  උත්සහ දරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා. ගින්නට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. හදිසි අනතුරක් සේ සලකා මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව ප‍්‍රංශ බලධාරීන් පවසනවා.