Friday, March 29, 2024

General line - 0115112241

ගින්නෙන් විනාශ වූ ප්‍රංශ දේවස්ථානය ගොඩනංවන්න යුරෝ මිලියන 300ක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව පුරා සිටින කතෝලික වැසියන් කම්පාවට පත් කරමින් ගින්නකින් විනාශ වුණු ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි නොටර් ඬේම් දේවස්ථානය යළි ගොඩනැගීමට ලොව නන් දෙසින් සහය පළ වෙමින් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ දේවස්ථානය යළි ගොඩනගන බවට ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් මේවනවිටත් ප‍්‍රතිඥා ලබා දී ඇති බවයි. ඒ අනුව දේවස්ථානයේ යළි ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීමට ප‍්‍රංශ සමාගම් දෙකක් ඉදිරිපත්ව සිටිනවා. ඔවුන් පරිත්‍යාග කරන මුදල යුරෝ මිලියන 300ක්.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ සිට නොටර් ඬේම් දේවස්ථානය තුළ පැතිර පැවතුනු ගින්න පැය 15ක පමණ කාලයකින් අනතුරුව පාලනය කිරීමට ගිනිනිවන භටයින් සමත්වුණා. එහෙත් දේවස්ථානයේ වහලය සහ ප‍්‍රධාන කුළුණ සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.  දැඩි පරිශ‍්‍රමයක් දරා දේවස්ථානයේ ශෛලමය ආකෘතිය ආරක්ෂා කර ගත්තද එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලූ පවතින බවයි ප‍්‍රංශ බලධාරීන් පවසන්නේ. ඒ හමුවේ දේවස්ථානය යළි ගොඩනැගිය හැකිද යන්න ද ගැටලූ සහගත බව ද සඳහන්. ගොඩනැගිල්ලේ ඉතිරිවූ කොටස් වල පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ගිනි නිවන භටයින් හෝ වෙනත් කිසිඳු පාර්ශවයකට මෙතෙක් ගොඩනැගිල්ල තුළට පිිවිසීමට හැකිවී නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත් ඒ සම්බන්ධයෙන් මේවනවිට පුළුල් පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි. ගින්න හට ගන්නා අවස්ථාවේදී දේවස්ථානයේ අළුත්වැඩියා කිරීම් සිදු වෙමින් පැවතුනා. ඒ සඳහා සේවකයින් 50දෙනෙකු පමණ යොදවා සිටි බව සඳහන්. ඊයේ පස්වරුවේ ගොඩනැගිල්ල තුලින් අනතුරු ඇගවීමේ සංඥා නිකුත් වූ නමුත් ගින්නක් හට නොගත් බවයි බලධාරීන් පවසන්නේ. 

12වන සියවසට අයත් බව පැවසෙන ලෝක උරුමයක් ලෙස ද නම් කර ඇති නොටර් ඬේම් දේවස්ථානය පැරීසියේ හදවත ලෙසයි ප‍්‍රංශ වැසියන් හඳුන්වන්නේ. ලොව පුරා වෙසෙන කතෝලික වැසියන්ගේ වන්දනාවට පාත‍්‍ර වන එම දේවස්ථානය තුළ ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේට පැළැන්ද වූ කටු ඔටුන්න තැන්පත් කර තිබෙනවා. 

කෙසේවෙතත් ගින්නෙන් ඊට කිසිදු හානියක් සිදුව නැහැ.