Tuesday, April 23, 2024

General line - 0115112241

අයහපත් කාලගුණය නිසා කටුනායකට පැමිණි ගුවන් යානා 05ක් හරවා යවයි (PHOTOS)

ටී.කේ.ජී.කපිල / රාහුල් සමන්ත




අද (17) පස්වරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට බලපෑ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂිත පියවරක් ලෙස කටුනායක ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබු ගුවන් යානා 05 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගනු ලැබුවා.

ඒ අනුව ගුවන් යානා 04ක් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගන්නා ලදියි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි UL- 315 දරන ගුවන් යානය, ඉන්දුනීසියාවේ ජකාර්තා සිට පැමිණි UL- 365 දරන ගුවන් යානය සහ සිංගප්පූරුවේ සිට පැමිණි UL- 303 දරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 03 සහ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ QR- 654 දරන ගුවන් යානය මෙලෙස මත්තල ගුවන් තොටුපළ වෙත යොමුකර තිබෙනවා.

මෙලෙස කටුනායක ගුවන් තොටුපළින් හරවා යැවු ගුවන් යානා පිළිවෙලින් සවස 5.12 , 5.33 , 5.51 සහ 5.59 යන වේලාවන්ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා ඇත.

මිට අමතරව ඉන්දියාවේ මදුරෙයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 140 දරන ගුවන් යානය ආපසු මදුරෙයි වෙතම හරවා යැවීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගන්නා ලදියි.

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක ප්‍රදේශය පුරා විදුලිය බිඳ වැටී තිබෙන අතර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ ගස් කඩා වැටීම් සහ කාණු පද්ධති උතුරා යෑමෙන් මහත් අපහසුතාවයන් මතුව ඇත.

මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ ගුවන් යානා වල සිටි මගීන් කිසිවෙකුත් එම ගුවන් යානා වලින් පිටතට නොබැස්සවූ ගුවන් තොටුපළ බලධාරීන් යළිත් මේ මොහොත වන විට එම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත් කර එවීමට කටයුතු කරමින් සිටියි.