Friday, April 26, 2024

General line - 0115112241

කුමන වනෝද්‍යානයේදි කොටියෙකු කම්කරුවෙක්ව ඩැහගෙන ගොස් මරා දමයි

දිනුක් හේවාවිතාරණ




කුමන ජාතික වනෝද්‍යානය තුල මාර්ග පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටි කම්කරුවෙකුව කොටියෙකු විසින් ඩැහැගෙන ගොස් මරා දමා ඇති බව උහන පොලිසිය පවසනවා.

වනෝද්‍යානයේ මාර්ග පිළිසකර කිරිම සදහා ට්‍රැක්ටර් රථවලින් පස් රැගෙන ගිය මෙම කම්කරුවන් පිරිස එම පස් මාර්ගය අයිනේ ගොඩබෑමෙන් අනතුරුව ගිමන් හරිමින් සිටි අවස්ථාවේදි එක්වර කොටියා පැන එහි සිටි කම්කරුවාව කැලය තුලට ඇදගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කර සිටියේ.

නොසිතු අවස්ථාවකදි එල්ලවු කොටියාගේ ප්‍රහාරයත් සමග එහි සිටි අනෙක් පිරිස කම්කරුවා ඩැහගෙන කොටියා දිව ගිය කැලෑ පෙදෙසට ගල් ප්‍රහාරයක් එල්ල කරමින් එම පුද්ගලයාව බේරා ගැනිමට උත්සහ කලත් එය ව්‍යර්ථවි තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් කුමන ජාතික වනෝද්‍යානයේ භාරකරුට දැනුම් දිමෙන් අනතුරුව වනජිවි දෙපාර්තමෙන්තුවේ නිලධාරින් පිරිසක් අදාල ස්ථානයට පැමිණ කොටියා විසින් ඩැහැගෙන ගිය කම්කරුවා සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

සිද්ධිය සිදුවු ස්ථානයේ සිට මිටර් 100ක් පමණ දුරින් පිහිටි කැලෑ ප්‍රදේශයේදි කොටියා විසින් ඩැහැගෙන ගිය කම්කරුවාගේ සිරූර වනජිවි නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ අවස්ථාවේදි කැලය තුල සැගවි සිටි කොටියා වනජිවි නිලධාරින්ටද ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදි එක් නිලධාරියෙක් තුවාල ලබා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුලත් කර ඇති බවයි උහන පොලිසියේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සදහන් කර සිටියේ.