Saturday, April 20, 2024

General line - 0115112241

මන්නාරම අක්කර 500ක කජු වත්තක් අනවසරයෙන් කට්ටි කිරීමේ උත්සාහයක්

ලහිරු කපුගේ




මන්නාරම, මාන්තෙයි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙල්ලන්කුලම වත්තේ අක්කර 500 ක කජු වගා බිමක් අවිධිමත්ව කට්ටි කර බෙදා දීමට දරණ උත්සාහයක් පිළිබද නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. රජයේ ඉඩමක් වන මෙහි කජු වගාව ආරම්භ කර ඇත්තේ ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින්. සාමසාකච්ඡා පැවති සමයේදී මෙම ඉඩමේ ශී‍්‍ර ලංකා කජු සංස්ථාවට අයත් පැළ තවානක් පවත්වාගෙන ගොස් ඇති අතර ඉඩම ශී‍්‍ර ලංකා කජු සංස්ථාවට පවරාදීමට ද නිර්දේශ වී තිබුණු බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

කෙසේවෙතත් යුද්ධය නැවත ආරම්භවීමෙන් පසු එල් ටී ටී ඊ ය ඉඩම අත්පත් කර ගෙන ඇති අතර ශී‍්‍ර ලංකා යුද හමුදාව එහි කජු වගාව ආරම්භ කර ඇත්තේ ඉඩම එල් ටී ටී ඊ යෙන් මුදා ගැනීමෙන් පසුවයි. 

මේ වනවිට හමුදාවන් යටතේ පවතින උතුරේ ඉඩම් ක‍්‍රමයෙන් නිදහස් කරමින් තිබෙනවා. ඒ යටතේ පෞද්ගලික ඉඩම් මෙන්ම ඇතැම් රජයේ ඉඩම්ද නිදහස් කෙරෙන අතර වෙල්ලන්කුලම වත්තේ හමුදා කදවුරක් සහ එල් ටී ටී ඊ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පිහිටි අක්කර 100 ක කොටසක් හැර සෙසු කොටස ද එලෙස නිදහස් කර තිබෙන බවයි දැනගන්නට ලැබුණේ. ප‍්‍රශ්නගත කජු වගාවද ඇත්තේ එම නිදහස් කළ කොටසේයි. එහි අක්කර 250 ක පමණ කොටසක් කට්ටි කර එක් අයෙකුට අක්කර දෙක බැගින් වන පරිදි සාමාන්‍ය වැසියන්ට බෙදා දීමට දැනටමත් කටයුතු කෙරෙමින් තිබෙන බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මාන්තෙයි ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුගේ උවමනාවන්ට අනුව මෙම කටයුතු සිදුවන බවයි නෙත් නිවුස් වෙත තොරතුරු සැපවූවන් කියාසිටියේ. කජු වගාව කට්ටි කර මෙලෙස සාමාන්‍ය වැසියන්ට ලබාදුනහොත් වගාව වැනසී යනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙනවා. එසේ වුවහොත් රජයට ලබාගත හැකි විශාල ආදායමක්ද අහිමි වන බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

ප‍්‍රශ්නගත කජු වගාවෙන් ඉකුත් වසරේ මෙටි‍්‍රක් ටොන් 400 ක පමණ අස්වැන්නක් ලැබී තිබෙනවා. මෙම වසරේද එහි අස්වනු නෙලන සමය ළංවී ඇති බවයි නෙත් නිවුස් නිරීක්‍ෂණ කළේ.