Thursday, April 18, 2024

General line - 0115112241

පිපිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 09ක් රිමාන්ඞ්

හේමන්ත කහවලගේ /අධිකරණ වාර්තාකරු




ඊයේ (21) දින කොළඹ ප්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු මැයි මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (22) නියෝග කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර මුස්ලිම් ජාතිකයන් හත් දෙනෙකු, සිංහල ජාතිකයකු සහ දමිළ ජාතිකයකු සිටින බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ සිදු කල මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධ වූ ඉන්සේන් සීලවන් නැමැත්තාගේ බිරිඳ සහ ළමයා දෙමටගොඩ මහවිල පාරේ නිවසක සිදු වූ බෝම්බ පිපිරීමෙන් මිය ගොස් ඇති බව මෙහිදී අධිකරණයට පොලිසිය දැනුම් දෙනු ලැබුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉන්සේන් සීලවන් නැමැත්තාට අයත් කර්මාන්ත ශාලාවක සේවය කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

මේ අතර එහි සේවයේ යෙදී සිටි ඉන්දීය හා පකිස්තාන ජාතිකයින් 30කට ආසන්න පිරිසක් ද පරීක්ෂාවට ලක් කෙරුණු බවයි පොලීසිය පවසන්නේ.