Thursday, April 25, 2024

General line - 0115112241

මරාගෙන මැරෙන බෝම්කරුවන්ගේ ආත්මයන් දෙවියන් භාර ගත යුතුයි : උද්දාමයට පත් IS ත්‍රස්තයින් අන්තර්ජාලයේ සතුට සමරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ලාංකිකයින් සහ විදේශිකයන් 290 දෙනෙකුට මරු කැඳවමින් හා තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් ඊයේ (21) දින මෙරට පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් IS අන්තවාදී සංවිධානය සිය සතුට පළ කරමින් සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමරා ඇති බවට ඩෙලි මේල් වෙබ් අඩවිය සඳහන් කරනවා.

IS ත්‍රස්තවාදීන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල අන්තර්ජාල ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන SITE නම් බුද්ධි අංශය විසින් මෙම තොරතුරු හෙළිකර කර ගෙන තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ මිට මාසයකට පමණ ඉහතදී ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට සිදුවූ වෙඩි තැබීමට පළි ගැනීමක් ලෙස ඔවුන් එය හඳුන්වන බවයි.

සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට අදාළ ජයාරූප හුවමාරුකර ගනිමින් ඔවුන් මෙම ප්‍රහාරය නිසා ඉතා ප්‍රීතියට පත්ව සිටින බව දක්වමින් පණිවිඩ හුවමාරු කරගෙන තිබු බවයි මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන  SITE නම් අන්තර්ජාල බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂිකා Rita Katz සඳහන් කර සිටියේ.

මෙම ප්‍රහාරයන් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගේ ආත්මයන් අල්ලා දෙවියන් විසින් පිළිගන්නා ලෙස ඉල්ලා තමන් යදින බවටද ඇතැම් අන්තවාදීන් විසින් පණිවිඩ හුවමාරු කරගෙන තිබෙනවා.