Friday, April 19, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ සංචාරක කේෂ්ත්‍රයට රජයෙන් බදු සහනයක් - මුදල් ඇමති

දිනුක් හේවාවිතාරණ




ඉකුත් පාස්කු ඉරිදා මෙරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් බලපෑමකට ලක්ව තිබෙන සංචාරක කේෂ්ත්‍රයට අදාළ සමාගම් යලි යථා තත්ත්වයට පත්වන තෙක් එම සමාගම් සඳහා බදු සහන වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් සලකා බැලීමට බලාපොරොත්තු වන මුදල් අමාත්‍ය මංගල සමරවීර සදහන් කර සිටිනවා.

විදෙස් සංචාරකයින් රැඳී සිටි ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් තුනක් ඇතුළු ස්ථාන 08කදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයේ නියැලී සිටින සමාගම් රජයෙන් බදු විරාම සහනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති බවයි ෆිජි හි පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු රැස්වීමෙන් පසු  බ්ලුම්බර්ග් රුපවාහිනි සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

" නිවැරදි ක්‍රියාමාර්ගයක් යටතේ බලපෑමකට ලක්ව තිබෙන මෙරට සංචාරක කේෂ්ත්‍රය වසරක් තුල හෝ වසර එකහාමාරක් වැනි කාලයක් තුල යලි නගා සිටුවීමට හැකිවනු ඇති බව මම විශ්වාස කරනවා. අතීතයේදී ටියුනීසියාව සහ බාලී වැනි සංචාරක කේෂත්‍රයේ ඉහලින් තිබු ස්ථාන වෙත මිට පෙර මෙවැනි ආකාරයේ ප්‍රහාරයන්ට මුහුණ දුන් බව" මුදල් ඇමති මංගල සමරවීර සදහන් කර සිටියා.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති යුද්ධයෙන් පසු ගතවු වසර 10ක කාලය තුලදී මෙරට සංචාරක කේෂ්ත්‍රය ඉහල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. රටේ ආර්ථික වර්ධනය සදහා එමගින් ලබා දුන්නේ සුවිශේෂී දායකත්වයක්.

" මෙහි ප්‍රබලතම බලපෑම වන්නේ මෙවැනි ආකාරයේ ප්‍රහාර දිගින් දිගමට එල්ලවීමේ තිබෙන අවධානමයි. එවැනි තත්ත්වයක් යලි ඇති නොවීමට අපි සැමවිටම කැපවී කටයුතු කරන අතරම එවැනි දෙයක් සිදුනොවනු ඇති බවට බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථිරවම සෙමින් ඉදිරියට යමින් තිබෙන බව" මෙහිදී මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.