Friday, March 29, 2024

General line - 0115112241

12 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාව උඩුයටිකුරු කල "ෆොනී" (PHOTOS)

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාව බලපා ඇති ෆොනී සුළි කුණාටුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ ඔඩීෂා ප්‍රාන්තයෙන් මෙම පුද්ගල මරණ වාර්තා වන බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. පූර්ව ආරක්ෂාකාරී පියවර හේතුවෙන් ජීවිත හානි අවම කර ගැනීමට හැකිවූ බව බලධාරීන් සඳහන් කළා. ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 12ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන තුළ රඳවා සිටනවා. ප්‍රබල සුළං ප්‍රවාහයන් සහ ජල ගැලීම් හේතුවෙන් දේපළ හානි ද රැසක් වාර්තා වන බවයි පැවසෙන්නේ. 

ඉන්දීයාවට දැඩි බලපෑම් එල්ල කළ ෆොනී සුළි කුණාටුව දේශ සීමාවන් හරහා මේවනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරමින් තිබෙනවා. පූර්ව අනතුරු ඇගවීම් අනුව පුද්ගලයින් මිලියනයක පමණ පිරිසක් මේවනවිටත් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බංග්ලාදේශ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එරට ප්‍රදේශ රැසකට මේවනවිටත් තද සුළං සහ දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නිවාස රැසකට හානි සිදුව ඇතැයි සඳහන්. ඒ හමුවේ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 30දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.