Friday, March 29, 2024

General line - 0115112241

ගාසා තිරය ආක්‍රමණය කරන්න ඊශ්‍රායලය සුදානම් වෙයි : පලස්තීන සටන්කාමීන් රොකට් ප්‍රහාර 450ක් එල්ල කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ගාසා තිරයේ ස්ථානගතවී සිටින සටන්කාමින් සහ ඊශ්‍රායල් හමුදාවන් අතර මේ වන විට උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබෙනවා. ගතවු වසර කිහිපයකට සාපේක්ෂව මේ වන විට ඇතිවී තිබෙන ගැටුම්කාරී වාතාවරණය දැඩිවී ඇති බවයි ජාත්‍යන්තර නිරීක්ෂකයින් සදහන් කරන්නේ.

මෙම සති අන්තයේදී පලස්තීන සටන්කාමින් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර 450 ක් පමණ එල්ල කර ඇති අතර ඊට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලයද පලස්තීනයේ ගාසා තිරයේ ඉලක්ක 220 ක් ඉලක්ක කර ගනිමින් ගුවන් සහ බර අවි ප්‍රහාරයන් එල්ල කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

පලස්තීන සටන්කාමින් විසින් එල්ල කරනු ලැබූ රොකට් ප්‍රහාර වලින් වැඩි ප්‍රමාණයක් ඉහල අහසේදීම විනාශ කිරීමට ඊශ්‍රායල් හමුදාවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය සමත්වූ අතර කෙසේ නමුත් රොකට් ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායලය නිවේදනය කර සිටියි. එල්ලවූ ගුවන් ප්‍රහාර සහ බර අවි ප්‍රහාර මගින් පලස්තීන වැසියන් 08 දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් සදහන් කරයි.

මේ අතර ගාසා තිරයේ පිහිටි සටන්කාමීන්ගේ ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලෙස ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්නියාහු සිය ආරක්ෂක හමුදාවන්ට අද උපදෙස් ලබාදී ඇති බවත් අවශ්‍ය වුවහොත් ගාසා තිරයේ දේශ සීමාව ආක්‍රමණය කිරීමට යුධ ටැංකි සමග හමුදාව සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.