Friday, April 19, 2024

General line - 0115112241

සෞදි අරාබියෙන් ආපු රහස්‍ය ලිපිය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයත් තොරතුරු දන්නේ මාධ්‍යයෙන්ලු

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සවුදි අරාබියේ විදේශ අමාත්‍යවරයා මෙරට පිහිටි සවුදි තානාපතිවරයා වෙත එවූ බව කියන රහස්‍ය ලිපිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශිකාවක සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කරන බවයි. තම අමාත්‍යාංශය ද අදාළ  ලිපිය පිළිබඳ තොරතුරු දැන ගත්තේ මාධ්‍ය මගින් එය ප‍්‍රචාරය කිරීමෙන් පසුව බව ඇය සඳහන් කළා.  

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට දින 05කට පෙර සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය බින් අබ්දුල් අසිස් අල් අසාෆ්ගේ අත්සනින් යුතුව මෙරට පිහිටි සෞදි  තානාපතිවරයා වෙත එවන ලද මෙම රහස්‍ය ලිපිය සම්බන්ධයෙන් නෙත් නිවුස් මීට පෙර  තොරතුරු අනාවරණ කළා.

එමගින් සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා, හදිසි කටයුත්තක් සේ සලකා දන්වා තිබුණේ සෞදි තානාපතිවරයා සතු දේශීය සහ විදේශීය කණ්ඩායම් වලට අදාළ සියලූ පරිගණක දත්ත මකා දැමීමට හා ලිපිලේඛන විනාශ කිරීමට පියවර ගන්නා ලෙසයි. 

පාස්කු සමය එළඹෙන බැවින් ඉදිරි දින කිහිපයේදී ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථාන හා දේවස්ථාන ආදිය හැකිතාක් මගහරින ලෙසට ද අදාළ ලිපියෙන් තානාපති උපදේශකයින්, කාර්යාල සේවකයින් සහ සෞදි අරාබියට සම්බන්ධ ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන් දැනුවත් කර ඇතැයි ද සඳහන්. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශිකාව සඳහන් කළේ  ඕනෑම රටක විදේශ අමාත්‍යවරයෙකුට තවත් රටක සිය තානාපතිවරයෙකුට  ඕනෑම ආකාරයක දැනුම් දීමක් නිල වශයෙන් සිදු කළ හැකි බවයි.