Tuesday, April 16, 2024

General line - 0115112241

කොච්චිකඩේ බෝම්බ ඇටවූ වෑන් රථය මිලදී ගත් සැකකරු අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ / ප්‍රනීත් කරුණාරත්න




කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි සැකකරු පැමිණි බව කියන වැන් රථය මිලදී ගෙන එය සකස් කිරීමට සම්බන්ධ සැකකරුව නව කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුව ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු ඔත්තුවක් මත මෙම වෑන් රථය මිලදී ගත් මොහොමඩ් ආදම් ලෙබ්බේ යන සැකකරු අත්අඩංගුවට ගෙන දැනට රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ. එම වෑන් රථය තුළද බෝම්බ සවිකර තිබු අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම එය ආරක්ෂා සහිතව පිපිරවීම නිසා සිදුවන්නට ගිය විශාල හානියක් වලක්වා ගැනීමට හැකිවිය.

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් 10 දෙනෙක් ඇතුළුව පුද්ගලයින් 85 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් 65 දෙනෙක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සහ 20 දෙනෙක් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ප්‍රශ්න කරමින් සිටියි. ඒ අතර සයින්දමරදු ප්‍රදේශයේදී පිපිරීමට ලක්වූ නිවසේ සිටි සහරාන් හෂීම්ගේ බිරිඳද සිටියි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී සංවිධානයේ සාමාජිකයින් භාවිත කල බව කියන ආරක්‍ෂිත නිවාස 17ක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇති අතර පුහුණු කඳවුරු සහ වැඩමුළු පැවැත්වූ ස්ථාන 07ක් ද අනාවරණය කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.