Wednesday, April 24, 2024

General line - 0115112241

ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම තෑගි මුදල මෙවර ලෝක කුසලන තරගාවලියේදී (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 04ක්  පිරිනමන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (17) සදහන් කර සිටියි. මේ දක්වා ක්‍රිකට් තරගාවලියකදී පිරිනමනු ලබන විශාලතම තෑගි මුදල මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලබා දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අවසන් මහ තරගය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 04ක් ද දෙවැනි ස්ථානය දිනා ගනු ලබන කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 02ක් ද පිරිනැමීමට නියමිත බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියේ.

එමෙන්ම අවසන් පුර්ව වටයේ පැවැත්වෙන තරග දෙකේදී පරාජය වන කණ්ඩායම් දෙක සදහාද අමෙරිකානු ඩොලර් ලක්ෂ 08 ක් බැගින් ලබා දීමට නියමිතයි.

පවත්වනු ලබන ලීග් වටයේ එක් තරගයක් ජයගනු ලබන පිලකට ඇමෙරිකානු ඩොලර් හතලිස් දහස බැගින් පිරිනැමීමට ICC ය තීරණය කර ඇති අතර පැවැත්වීමට නියමිත ලීග් වටයේ තරග සංඛ්‍යාව 45ක්. ඊට අමතරව ලීග් වටයේ තරග අවසානයේදී ඉහලින්ම සිටින කණ්ඩායම් 06 සදහා අමෙරිකානු ඩොලර් ලක්ෂය බැගින් පිරිනැමීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම් සදහා පිරිනමනු ලබන මුළු තෑගි මුදල අමෙරිකානු ඩොලර් මිලියන 10ක් වන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරන්නේ.