Tuesday, April 23, 2024

General line - 0115112241

බංග්ලාදේශ ධිවරයින්ට දින 65ක වාරණයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බංග්ලාදේශය ධීවර කටයුතු සඳහා දින 65ක තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව අද සිට එළඹෙන ජූලි මස 23වනදා දක්වා එරට මුහුදු සීමාව තුළ කිසිඳූ අයුරකින් ධීවර කටයුතුවල නිරත වීම තහනම් වනු ඇති. කුඩා මසුන් ප්‍රමුඛව සිය මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බංග්ලාදේශය මෙම තීරණයට එළඹ තිබෙනවා. 

සියලුම වර්ගයේ ධීවර යාත්‍රා සඳහා මෙම තහනම බලපැවැත්වෙනු ඇති. එය කඩකරන ධීවරයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා බංග්ලාදේශයට අයත් බෙංගාලබොක්ක මුහුදු සීමාව තුළ වෙරළාරක්ෂකයින් සහ නාවික හමුදාව ස්ථාපිත කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. 

නව තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බංග්ලාදේශයේ ධීවර අමාත්‍ය අශ්රෆ් අලී ඛාන් පැවසුවේ මසුන්ටද වර්ධනය වීමට හා ව්‍යාප්තවීමට කාලයක් ලබා දිය යුතු බවයි. එසේ නොමැතිව මත්ස්‍ය සම්පත අතිරික්ත වශයෙන් ප්‍රයෝජනයට ගතහොත්, අනාගතයේදී අර්බුදයන්ට මුහුණ දීමට සිදු වනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. 

කෙසේවෙතත් නව තහනමට එරෙහිව විරෝධතා පවත්වන බව බංග්ලාදේශ ධීවරයින් ප්‍රකාශ කළා. ඔවුන් පවසන්නේ මෙම තහනමත් සමග සිය ආදායම් මාර්ග අහිමි වන බවයි.  කෙසේවෙතත් මෙතැන් පටන් සෑම වසරකදීම මැයි 20 වනදා සිට ජූලි 23 දක්වා මෙම ධීවර තහනම පනවන බවයි බංග්ලාදේශ රජය පැවසුවේ.