Thursday, March 28, 2024

General line - 0115112241

හුවාවේ සමාගමෙන් අමෙරිකාවට අනතුරු ඇගවීමක්

තරංග රුක්ෂාන් ජයසේකර




අමෙරිකාව සිය සමාගම අවතක්සේරු කර ඇතැයි හුවාවේ සමාගම අද ප්‍රකාශ කළා. සමාගමේ නිර්මාතෘ රැන් ජෙන් ෆායි පවසන්නේ අමෙරිකාව තම නිෂ්පාදනවලට සිදුකළ බලපෑමට සාර්ථකව මුහුණ දෙන බවයි. අමෙරිකාවේ ක්‍රියාකලාපය හරහා නොසැලී සිටින බවත් ඉන් සිදුවිය හැකි බලපෑම අවම බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කිසිවෙකුටත් ළගා කර ගත නොහැකි ෆයි ජී තාක්‍ෂණය නුදුරු අනාගතයේදීම හදුන්වාදීමට හුවාවේ සමාගම සූදානම් බව එහි නිර්මාතෘවරයා අවධාරණය කර තිබෙනවා.

ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ හුවාවේ සමාගම අමෙරිකාව විසින් අසාදු ලේඛණයට ඇතුළත් කරනු ලැබීමත් සමග උද්ගතව ඇති අර්බුදයත් සමගයි. චීන සමාගම්වලට එරෙහිව අමෙරිකාව සිදුකළ සීමා කිරීම් මීට හේතු වුණා. ඒ අනුව අමෙරිකානු සමාගමක් වන ගූගල්, හුවාවේ දුරකතන සදහා ලබාදෙන ඇන්ඩ්‍රොයිඞ් සේවා සීමා කිරීමටයි තීරණය කළේ.

ඒ අනුව යූ ටියුබ්, ජී මේල්, ක්‍රෝම් සහ ගූගල් මැප්ස් මෙන්ම ගූගල් ප්ලේස්ටෝ හරහා ඇති පහසුකම්ද හුවාවේ දුරකතනවලට ඉදිරියේදී අහිමි වනු ඇති. වර්තමානයේ අළෙවි කර ඇති දුරකතනවල තිබෙන මෙවැනි මෘදුකාංග සේවා පරිහරණය කළ හැකි නමුත් ඒවා යාවත්කාලීන කිරීමේදී ගැටළු පැන නගිනු ඇති බවටයි පැවසෙන්නේ. කෙසේවෙතත් ඊට මුහුණදීමට සූදානම් බව හුවාවේ සමාගම ප්‍රකාශ කළා.